අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති සහතික වෙයි Featured

    මැයි 15, 2019

    ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික වෙයි.

    චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපතිතුමා අතර නිල හමුව  (14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව අවධාරණය කෙරිණි.

    මේ අතර ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝට් 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.

    එමෙන්ම ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝට් 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

    මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.

    ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

    චීන ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ලොව කොතැනක වුව ද ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අපේ‍්‍රල් 21 වනදා ශී‍්‍ර ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප‍්‍රසාදය පළ කළ චීන ජනාධිපතිතුමා එහිදී අසීරුතාවයට පත්වූ සියලු ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කළේය.

    ත‍්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟී සිටින ශ‍්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

    අපේ‍්‍රල් 21 වනදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ‍්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

    දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

    එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ත‍්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සැඟවී සිට ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශී‍්‍ර ලංකාවට නොමැති බවයි.

    එම උපකරණ සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.

    චීන ණය ආධාර මත ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම චීන ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    ශ‍්‍රී ලංකාව සෑමවිටම අවංක මිතුරෙකු ලෙස චීනයට ලබාදෙන සහය ද මෙහිදී චීන ජනාධිපතිතුමාගේ විශේෂ පැසසුමට ලක් කෙරිණි.

    එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ චීන ජනාධිපතිතුමා එම අභියෝගය ද ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතින බවට විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya