අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම පාසල් රැසක සිදු කළ සංවර්ධන කාර්යයන් ජනපති අතින් සිසු අයිතියට Featured

    අප්‍රේල් 02, 2019

    මහරගම ආසනයේ පිහිටි විද්‍යාල හතරක ගොඩනැගිලි සහ ක්‍රිඩා සංකීර්ණයක් සහිත ක්‍රිඩාපිටිය විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (01) පෙරවරුවේ සිදු විය.

    මහරගම ජනාධිපති විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, කොට්ටාව ධර්මපාල සහ කෝට්ටේ මාදිවෙල පිහිටි ලංකාවේ ප්‍රථම සුහුරු පාසල යන විද්‍යාලවල නව ගොඩනැඟිලි අද මෙලෙස ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    එමෙන්ම කෝට්ටේ මිරිහානේ ඉදිකරන ලද ක්‍රීඩාගාරය සහිත ක්‍රීඩාංගණය ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් බස්නාහිර පළාත් මුල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මෙම ඉදිකිරීම් සිදු කොට තිබේ.

    අද පෙරවරුවේ ප්‍රථමයෙන් මහරගම ජනාධිපති විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලයේ අලුතින් ඉදිකෙරුණු අංගසම්පූර්ණ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගැනුණු අතර සමරු ඵලකය නිරාවරණය කර ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

    අනතුරුව මහරගම මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා “හොඳම දේ දරුවන්ටයි” සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභා මුල්‍ය ප්‍රතිපාදන මත විද්‍යාලයේ ඉදිකෙරුණු අංගසම්පූර්ණ ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරා දුන්නේ ය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය වෙතයි.

    සමරු ඵලකය නිරාවණය කර එම විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් ද ඉදිකර තිබෙන අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය ජනාධිපතිතුමා විසින් සිසු අයිතියට පවරාදෙනු ලැබීය.

    ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන ප්‍රදේශයේ ඉදිකෙරුණු ක්‍රිඩාගාරයක් සහිත අංගසම්පූර්ණ ක්‍රිඩාංගණයක් වන“ඉසුර දේවප්‍රිය ක්‍රිඩාංගණය” ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    කෝට්ටේ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලය මෙරට පළමු සුහුරු පාසල බවට පත් කිරීමට බස්නාහිර පළාත් සභාව පියවර ගෙන තිබෙන අතර, එම පාසල “ඉසුර විද්‍යාලය කෝට්ටේ” ලෙස නම් කර සුහුරු පන්තිකාමර සහිත පාසල් සිව්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු බස්නාහිර පළාත් මැති ඇමතිවරු මෙම විවෘත කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

    මේ අතර ශ්‍රීී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව විසින් ඉදිකරන ලද “ජන ජය සිටි” සුපිරි වෙළෙඳ සංකීර්ණය අද (01) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි. මහල් 10කින් යුත් සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2000කි.

    සමරු ඵලකය නිරාවරණය කර සුපිරි වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පාරිලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, කෝට්ටේ නගරාධිපති නීතිඥ මධුර විතානගේ, හිටපු නගරාධිපති ජනක රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya