මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමටයි- ජනපති

    අප්‍රේල් 03, 2019

    ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබා ඇති රටවල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සිදුකළ යුතු වෙනස්කම් සිදුකරමින් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බව ජනාධිපතිතුමා පවසයි.

    ජනධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ   (01) පස්වරුවේ පැවති උත්සවයක් අමතමිනි.

    05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 07 ශ්‍රේණියේ දී හෝ 08 ශ්‍රේණියේ දී විභාගයක් පවත්වා එම විභාග ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව එක් එක් විෂය ක්ෂේත්‍රයන් සඳහා දරුවන් යොමු කිරීමට අධ්‍යාපන විශේෂඥයන්ගේ මඟපෙන්වීමෙන් ඉදිරියේ දී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අනුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණිතඥයන්, කෘෂි විශේෂඥයන්, තාක්ෂණ විශේෂඥයන් ආදි ක්ෂේත්‍ර දක්වා දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේ ය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අධ්‍යාපන විද්‍යාව අනුව ගැටලුවක් පවතින බවයි. අධ්‍යාපනය ලබාදීමට හැකියාවක් නොමැති ඉතා දිළිඳු පවුල්වල දරුවන් රජයෙන් පාසලකට ඇතුළත් කර දීමනාවක් ද ලබාදෙමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම පිණිස ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගය අද ජනප්‍රිය යැයි සම්මත පාසල්වලට දරුවා ඇතුළත්කර ගැනීමට ඇති එකම කඩඉම බවට පත්වීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගේ 86්‍ර ක්ම ශිෂ්‍යත්වය සමත් වූ දරුවන් නොවන බව සංඛ්‍යා ලේඛනය පෙන්වා දී තිබෙන බවයි.

    මෙම අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇතිවිය යුතු අතර සියලු පාසල්වලට අවශ්‍ය සම්පත් ලබාදෙමින් රටේ සියලු දරුවන්ට තම දක්ෂතාවයන් අනුව ඉදිරියට යාමට අවස්ථාව සලසාදීමේ අධ්‍යාපන ක්‍රමයක වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිලි කළේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා මහ පාරේ උද්ඝෝෂණය කරන අධ්‍යාපන ක්‍රමය ද කඩිනමින් වෙනස් විය යුතු බවයි.

    ලෝකයේ ඉහළම දියුණුවක් ලබා ඇති කිසිඳු රටක එක් පාසලකට දරුවන් දහස් ගණනක් ඇතුළත්කර නොගන්නා අතර දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කුඩා කල සිට ඔවුන්ගේ විනය ගොඩනැගිය හැකි ආකාරයෙන් සීමිත සිසුන් පිරිසක් එම විද්‍යාලවල අධ්‍යාපනය ලබන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. එබැවින් තරගකාරිත්වය අවසන් කර රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම හැදියාවෙන් යුත් විනයවත් දරු පරපුරක් ගොඩනැගීමට අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකෙරුණු රංගශාලාව සහිත තෙමහල් ගොඩනැඟිල්ල ඊයේ පස්වරුව් ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් රැක් රෝපණයක් ද සිදු කෙරිණි. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර රංගශාලාව සහිත ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    සිසුවියක විසින් සිතුවමට නඟන ලද ජනාධිපතිතුමාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවිස්සාවේල්ල ආසන සංවිධායක සුමිත් සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya