මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරවැසි සේවාවන් සැපයීම පිළිබඳ 74 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

    ජූලි 18, 2014

    පුරවැසි සේවාවන් සැපයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිත කරන අන්දම නියාමනය කෙරෙන එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාවට අනුව 2014 වසරේ ලොව රටවල් 193ක් අතුරින් 74 වැනි ස්ථානය ලබා ගැනීමට මෙවර ශ්‍රී ලංකාවට හැකි වී ඇත. 2012 වාර්තාව අනුව ශ්‍රී ලංකාවට  හිමි වී තිබුණේ 115 වැනි ස්ථානයයි.


    මෙවර වාර්තාවට අනුව දකුණු ආසියාවේ විශිෂ්ට ලෙස මහජන සේවා සැපයීම සඳහා තොරතුරු තාක්‍ෂණය භාවිත කරන රට ලෙස ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව තිබේ. දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ මාල දිවයින් රාජ්‍යයට වන නමුත් ඔවුන් පසුවන්නේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 20ක් පසු පසිනි. ඉන්දියාව ශ්‍රී ලංකාවට ස්ථාන 44ක් පිටුපසින් පසුවන අතර ජගත් ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන දර්ශකයේ 118 වැනි ස්ථානය ඔවුන්ට හිමි වී ඇත.


    මේ බව අනාවරණය කෙරුණෙ ඊයේ 18 කොළඹදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකදීය.මෙම අවස්ථාවට එක් වූ විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,  ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තියට අනුව මහජන හිතකාමි සමීප රාජ්‍ය ‍සේවාවක් සැපයීමේ අරමුණින් ‘ඉ- ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපරිම ලෙස රාජ්‍ය අංශය තුළ භාවිත කිරීම මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හේතු වූ බවයි.

    රජයේ නිවැරදි සංවර්ධන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම වාර්තාව මගින් අගය කර ඇති බව පෙන්වා දුන් තොරතුරු තාක්‍ෂණ අමාත්‍යවරයා සෑම ක්ෂේත්‍රයක්ම තොරතුරු තාක්‍ෂණය ආධාරයෙන් සවිබල ගැන්වී‍ම අඛණ්ඩව සිදු කරන බව අවධාරණය කළේය.

    විවිධ අභියෝග මැද ‘ඉ- ශ්‍රී ලංකා’ ජාතික තොරතුරු තාක්‍ෂණ  සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගැනීමට ආධාර වූ බව ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා ප්‍රකාශ කළේය. මෙම වාර්තාව තුළ ශ්‍රී ලංකාව මෙවර ලබා ඇති ජයග්‍රහණ හේතුවෙන් ප්‍රතිලාභ රැසක් රටට හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

    ජගත් ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාවට අනුව ලෝකයේ මධ්‍යම ආදායම් ලබන රටවල් 48ක් අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. ‘ඉ- සේවා’ උප දර්ශකයේ 36 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබි ඇති අතර, එම දර්ශකයේ අඩු මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වීම ද වි‍ශේෂත්වයකි.

    ‘ඉ-සහභාගිත්ව’ උප දර්ශකයේ 33 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට මෙවර හිමි වී ඇති අතර එම දර්ශකයේ අඩු මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය අපට ලැබී ඇතැයි රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

    මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සෑම රාජ්‍ය ආයතනයක්ම නොපිරිහෙලා තොරතුරු තාක්‍ෂණය සිය සේවා සැපයීම සඳහා යොදා ගැනීම හේතුවක් වු බව දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.අන්තර්ජාලය, ජංගම දූරකතන මගින් රාජ්‍ය සේවා මහජනතාව වෙත ලබා දීම තවදුරටත් පුළුල් කළ යුතු යැයි පෙන්වා දුන් හෙතෙම ඒ සඳහා ඉදිරියේ දී SMART SRI LANKA වැඩසටහන යටතේ ක්‍රමවත් වැ‍ඩපිළිවෙළක් සකසන බව අවධාරණය කළේය.


    එමෙන්ම තොරතුරු තාක්‍ෂණය මහජන සේවා සැපයීම සඳහා භාවිත කරන ලොව හොඳම රටවල් පනහ අතරට යෑම ශ්‍රී ලංකාවේ මීළඟ අරමුණ බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ICTA ආයතනයේ සභාපති, ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ යන මහත්වරු සහභාගි වුහ.

    මෙම ජගත් වාර්තාව පිළිබඳ වැඩි විස්තර http://unpan3.un.org/egovkb/Reports/UN-E-Government-Survey-2014 වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya