අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඩෝ සමුළුවට ශ්‍රී ලංකා ජාතික වාර්තාව සැකසෙයි Featured

    ජූලි 11, 2014


    සිඩෝ (CEDAW) සම්මුතිය හෙවත් “කාන්තාවන්ට එරෙහි සියලු  ආකාරයේ ම වෙනස්කොට සලකනු ලැබීම ඉවත් කිරීම පිළිබඳ ප්‍රඥප්තිය” , (Committee on the Elimination of Discrimination against Women) වෙනුවෙන් 2015 වසරේ දී ජිනීවාහි පැවැත්වීමට නියමිත මීළඟ සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාතික වාර්තාව සැකසීමට පියවර ගැනේ.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙම වාර්තාව සැකසීමෙහිලා රාජ්‍ය පාර්ශවයෙන් මුලිකව කටයුතු කරන අතර, ඒ සම්බන්ධයෙන් වන මුලික සාකච්ජාව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපායේ දී පසුගියදා පැවැත්විණි.


     මෙම ප්‍රඥප්තිය ප්‍රථමවරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1979 වර්ෂයේ දී සම්මත කරනු ලැබ ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව 1980 ජුලි 17 මෙම සම්මුතියට නිල වශයෙන් අත්සන් තබා ඇති අතර, 1996 වනවිට එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යන් 152ක් මෙම සම්මුතිය පිළිගෙන ඇත. වසර 04කට වරක් පවත්වන CEDAW සමුළුව අවසන්වරට 2011 ජනවාරි 17 ජිනීවා නුවර පැවැත්වු අතර 2015 පෙබරවාරි මස ‍ජිනීවා නුවර මීලඟ CEDAW සමුළුව පැවැත්වීමට නියමිතය. CEDAW ප්‍රඥප්තියේ වගන්ති 48 කින් සමන්විත වන අතර, මෙහි සෑම වගන්තියකටම අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ද එකඟවී සිටී.


    කාන්තාව හා ගැහැණු ළමයින්ට එරෙහිව සියලු ම ආකාරයේ වෙනස්කම් එනම් රැකීරක්ෂා, තීරණ ගැනීම්, ඉඩම් අයිතිය, ලිංගික හා ප්‍රජනන, අධ්‍යාපන, පවුලේ සිදුවන හිංසනය, දේශපාලන තත්ත්වය ඇතුළුව කාන්තාවන්ට ‍එරෙහි වෙනස් හිංසන ක්‍රම වැනි‍ බොහෝ ක්ෂේත්‍රයන්හි ඇති අවාසි සහගත හා අසමානතා තත්ත්වයන් CEDAW සම්මුතියෙන්  දුරුකිරීම ප්‍රධාන අරමුණ වේ. මේ‍ ආදී කරුණු සඳහා රාජ්‍ය අංශයෙන් කාන්තා ප්‍රගතියට අදාළව ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර තොරතුරු ‍ඇතුළත් ජාතික වාර්තාවක් සකස් කිරීම මුලික අරමුණ කොටගෙන තවත් අමාත්‍යාංශ රැසක නියෝජිතයන්ගේ ද සහභාගීවයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

    ශ්‍රී ලංකා CEDAW ජාතික වාර්තාව සම්පාදනය සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට අමතරව අධිකරණ , ආර්ථික සංවර්ධන , සමාජ සේවා, ඉඩම් හා ඉඩම් සංවර්ධන, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධ, විදේශ කටයුතු ඇතුළු අමාත්‍යාංශ 11ක් ද රාජ්‍ය නොවන සංවිධාන 07ක නියෝජිතයන් ඇතුළු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ද මෙම රැස්වීමට සහභාගී වී අදහස් ඉදිරිපත් කළහ.
     

    මෙහිදී අදහස් දැක්වු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, “  CEDAW ප්‍රඥප්තියෙහි  අඩංගු වගන්ති හා ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ඇති කරුණු ද බොහෝ සෙයින් සමානයි. නමුත් මහින්ද චින්තනයේ ඇති කරුණු අතිශ‍යින්ම ලංකාවේ සංස්කෘතියට ගැළපෙන අයුරින්ම සම්පාදනය කර තියෙනවා. එහි විදේශ අනුකරණයක් කොහෙත්ම නැහැ. මේ ජාතික වාර්තාව සම්පාදනයේ මුලික වගකීම් ‍ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට හිමිවෙලා. හැමවිටම නිහඬ සේවයක් මෙන්ම අමිල සේවයක් කරන්න  අපට හැකිවෙලා තියෙනවා.

     

    මේ ජාතික වර්තාව සම්පාදනය අපිට අපහසු දෙයක් නෙමේ. CEDAW ප්‍රඥප්තියට සීමා නො වී ඉන් එහාටත් කාන්තාවන්ට චක්‍රලේඛ, ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කර තියෙනවා. යම් යම් අවස්ථාවන්හි ඉතා සුළු ප්‍රමාණයක් අසාර්ථක වී තිබුණත් වැඩි හරියක්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කර තිබීම නිසා අන්තර්ජාතික වශයෙන් පවා ප්‍රසාදයන්  අපි ලබා ගෙන තියෙනවා.  මේ  මෑතකදී ළමුන් වෙනුවෙන් ලැබුණ සයිවැක් වාර්තාවත් එවැනි අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමහර වැඩසටහන් අසාර්ථකභාවයක් පෙන්නුම් කළෙත් ජනතාව දැඩිලෙස එල්බගෙන සිටින මත නිසා. නමුත් අප ඒවා පිළිබඳ වෙනත් ආකාරවලින් ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ”‍


     තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “ ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට නඟන අසත්‍ය චෝදනාවලට පිළිතුරක් වශයෙන් ද මේ CEDAW ජාතික වාර්තාව හඳුන්වන්න පුළුවන්. මී‍ට පෙර වර්ෂවල CEDAW ජාතික වාර්තාවන්වල බොහෝ කරුණුවලට එක්සත් ජාතීන් අපට පැසසුම් කර ‍තියෙනවා. විශේෂයෙන් අද කාන්තාවන් වෙනුවෙන් ම වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා තිබීම සිඩෝ ප්‍රඥප්තිය ශ්‍රී ලංකා රජය අනුගමනය කරන බවට ප්‍රබල සාක්ෂියක්  බව කිව යුතුයි.”
     

    මෙහිදී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ජාතික කාන්තා කමිටුවේ සභාපතිනී ආචාර්ය නීලා ගුණසේකර, OXFAM Australia හි ප්‍රතිපත්ති කළමනාකාරිණි එස්.සිරිවර්ධන යන මහත්ම මහත්මීහු ද සභාව ඇමතූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya