අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදවත් සැත්කම් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලු පහසුකම්

    ජූලි 14, 2017
    මහනුවර මහ රෝහලේ දී සිදූ කරන ලද ප්‍රථම හදවත් සැත්කම පිළිබඳ සොයාබැලීම සහ එම සැත්කමට එක්වූ වෛද්‍යවරුන්ට ස්තූතිය පුද කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (13) පෙරවරුවේ එම රෝහලෙට පැමිණි අවස්ථාවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදි මේ බව ප්‍රකාශ කළේය. 
     
    මාධ්‍ය හමුවට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහනුවර මහ රෝහලේ නව රුධිර කාන්දුකරණ ඒකකය සහ ශල්‍යාගාරය විවෘත කරන ලදි. රුධිර කාන්දුකරණ ඒකකයට අවශ්‍ය යන්ත්‍ර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී පරිත්‍යාග කරන ලදි. රුධිර කාන්දුකරණය සඳහා පැමිණ සිටි රෝගීන්ගේ සුවඳුක් විමසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය පහසුකම ලබාදෙන බව ද ප්‍රකාශ කළේය. 
     
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍යවරුන් දැකබලා ගැනීමේ අරමුණින් මම අද මහනුවර මහ රෝහලට පැමිණියා. එම සැත්කම පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයාට වඩා පුරවැසියෙකු ලෙස මම සතුටු වුණා. අක්මා රෝගීන් වෙනුවෙන් සැත්කම් 2015 වසරේ ආරම්භ කළා. කොළඹ ජාතික රෝහලේ තවත් සැත්කම් ආරම්භ කිරිමට සුදානම් වුවත්, විශාල බාධා ඇති වුණා. හදවත් බද්ධ සැත්කම් පළමුවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනේ කොළඹ හෘද රෝහලෙයි. ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. නමුත් ඊට ප්‍රථම ව මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් මෙම හාස්කම සිදු කිරීම පිළිබඳ ව මම සතුටු වෙනවා. සැත්කම සිදු කළ දිනයේම දූරකථනයෙන් කථා කර මම එම විශේෂඥ වෛද්‍යවරුන්ට ස්තූතිය පුද කළා. මුල්ම හෘද සැත්කම් බද්ධය ලෝකයේ සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙයි. ඒ 1967 දී. ශිෂ්‍යයින් විදිහට අපි එම සැත්කම පිළිබඳ ලිපි අධ්‍යයනය කළා. අපේ රටේ වසර 50 කට පසුව තමයි ප්‍රථම හෘද සැත්කම් බද්ධය සිදු කළේ". 
     
    "මෙම සැත්කමට දායක වූ සියලු ම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ස්තූතිය පුද කළ යුත්තේ මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වීම හේතුවෙන්. මෙම සැත්කම් ඉදිරියට පත්වාගෙන යම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට මම  කටයුතු කරනවා. සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා අපේ රජය රුපියල් බිලියන 235 ක් මෙම වසරේ දී වෙන් කර තිබෙනවා. ඇටමිදූලු බද්ධ කිරීමේ සැත්කම් ද මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළා. තවත් මාසයකින් බොරැල්ල ළමා රෝහලේ ආරම්භ කරනවා. මහනුවර රෝහලේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනවා". 
     
    මහනුවර මහ රෝහල ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහල බවට පත් කිරිමට මම තීරණය කර තිබෙන අතර ම ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩලය ද ලබා දෙන බවත් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ නව හාස්කම් දක්වන වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩලය වෙනුවෙන් වසර අවසානයේ ජාතික සම්මාන උළෙලක් පවත්වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග, අමල් හර්ෂ ද සිල්වා, අධ්‍යක්ෂවරුන්, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහත්වරු ඇතුලු වෛද්‍යවරු, සියලු ම කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන ප්‍රමුඛ නාවික හමුදාවේ සාමාජිකයින් ද එක්ව සිටියහ. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya