"එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය අද සමරනු ලබනවා. 2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති රාශියක එකමුතුවෙන් පොදු අපේක්ෂකයා ලෙස මා තෝරා ගෙන මේ රටේ ජනතාවගෙන් හැට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ඡන්ද ප්‍රමාණයකින් මා ජයග්‍රහණය කළා. එහි වැඩි කොටස එක්සත් ජාතික පක්ෂයට හිමියි. එම නිසා මෙම 70 වැනි සංවත්සරයට මට ආරාධනා කිරීම පිළිබඳව මා විශේෂයෙන් ස්තූති කළ යුතුයි.
අපි රටක් ලෙස මේ රටේ ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා මූලික වගකීම් බාර ගෙන තිබෙනවා. ඒ අනුව මේ රට යහපත් රටක් බවට පත් කිරීමට, සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මහතා එදා මේ පිහිටුවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මේ පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ බව කිව යුතුයි.
රට, ජනතාව සහ මාතෘ භූමිය පිළිබඳව අප සෑම කෙනෙක්ම සිත්හි ධාරණය කර ගෙන කටයුතු කළ ආකාරයටම ඉදිරියටත් කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය 1946 දී බිහි කරන විට ඩී.එස්. සේනානායක මහතා කරන ලද ප්‍රකාශයක් මා මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා. "සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජීවත් විය යුතුයි” යනුවෙන් එතුමා ප්‍රකාශ කළා.
ඔබතුමන්ලා අද මේ ප්‍රකාශයට පත් කරන ලද සමුළු යෝජනාවලියේ මෙලෙස සඳහන් කර තිබෙනවා. "කිසිඳු විදේශීය බලවේගයකට දේශයේ ස්වාධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍ය යටපත් කිරීමට, හෑල්ලු කිරීමට හෝ බලපෑම් කිරීමට ඉඩ නොදීමට ද, බහුතර සිංහල ජනතාවගේ සාඩම්බර උරුමය හා සංස්කෘතිය තව තවත් ඔප්නංවාලීමට හා ඔවුන් සමග ශත වර්ෂ ගණනාවක් එකට සම්බන්ධව ලක් මව පෝෂණය කළ දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජනවර්ගයන්ගේ උරුමයන් හා සංස්කෘතීන් ආරක්ෂා කරමින් සියලු ජනවර්ගයන්ට සහෝදරත්වයෙන් සහ සමගියෙන් ජීවත් විය හැකි තිරසාර සමාජ පරිසරයක් නිර්මාණය කරලීම සඳහා නිරන්තරව ක්‍රියා කරලීමට ද, වසර 2500 කටත් එහා දිවෙන අභිමානනීය ඉතිහාසයක උරුමකරුවන් ලෙස බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ථෙරවාදී බුදුදහමෙහි කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ද, එසේම හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී සෙසු ආගම් ද අනුගමනය කිරීමේ, ඇදහීමේ හා විශ්වාස කිරීමේ අයිතිය තහවුරු කිරීමට ද” කරුණු ඔබලාගේ ප්රතිපත්තීන් එම යෝජනාවලියේ අන්තර්ගත වෙනවා.
මේ රට අද මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය, විදේශ බලපෑම් ආදී කරුණු සියල්ල පිළිබඳ බුද්ධියෙන් සහ විද්වත් භාවයෙන් අධ්‍යයනය කරමින් අපි කටයුතු කරමින් සිටිනවා. සිංහල, දමිළ සහ මුස්ලිම් එකමුතුව සහ සමගිය තුළ රට ගොඩනැගිය යුතු බව එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරමින් වසර 70 කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා කියා සිටියා. අද අප වසර 70 කට පසුව අදත් කියා සිටින්නේ සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාවගේ එකමුතු භාවය තුළින් ජාතික සංහිදියාව ඇති කළ යුතු බවයි. සෑම ප්‍රශ්නයකම ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍යයි. වසර 70 කට පෙර කතා කළ දේ අපට අදත් කතා කිරීමට සිදු වී තිබෙන්නේ වසර 70 ක් තුළ ඒ කතා කළ ප්රශ්නයේ ස්වභාවය තේරුම් ගෙන විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන නිසයි. වසර 30 ක කුරිරු යුද්ධයක් ඇති වීම ද එහි ප්‍රතිඵලයක්.
2015 ජනවාරි 08 වැනි දා ජනතාව අප වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ එදා අප රටට ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ ප්‍රතිඥා අනුවයි. ඒ තිබුණා වූ කරුණුවලට මටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ලබාදුන් වරම තුළ එම කරුණු වැරදි බව මේ රටේ කිසිවෙකුටත් පැවසීමට නොහැකි වුණා. එසේ නම් ජනවාරි 08 වැනි දා ලැබූ ජයග්රහණයෙන් පසුව ජනවාරි 09 වැනි දා පටන් ආරම්භ වූ අපේ ඒ වැඩපිළිවෙළ මෙහෙය වීමේ ප්‍රධාන ජන සේවකයා ලෙස මා ප්‍රධාන වශයෙන්ම කැප වී සිටින්නේ එම මැතිවරණ ප්රකාශනයේ අඩංගු වූ කරුණු දිවි හිමියෙන් ඉෂ්ඨ කිරීම සඳහා බව මා පැහැදිලිව කිව යුතුයි. රජයක් ලෙස එම වගකීම් ඉෂ්ඨ කිරීමට කැප වී සිටිනවා.
තුනෙන් දෙකක බලයක් ලබා ගෙන අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලිය හරහා අපට එරෙහිව ආ යෝජනාවට අප සාර්ථකව මුහුණදුන්නා. මා බොහොම පැහැදිලිව පසුගිය ඉරිදා ප්‍රකාශ කළා වගේම, පැවැති සන්ධාන ආණ්ඩුවේ නායකයා වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණය පැවැත් වීමට සූදානම් වූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මා මැතිවරණයකට නොයන්නැයි කියද්දී, ඒ වගේම සන්ධානයේ සියලූ දෙනා එපා කියද්දී ඔහු කිසිවෙකුගේ කීම නොඅසා මැතිවරණයකට ගොස් අමිහිරි අත්දැකීමක් විදින්න සිදු වුණේ ආර්ථික අර්බුදයට සහ මානව හිමිකම් යෝජනාවලියට ඔහුට මුහුණදීමට තිබූ නොහැකියාව නිසයි.
මානව හිමිකම් සමුළුවේ යෝජනාවලියට අප විසඳුම් සොයන විට දැන් ඒ අය විවිධ චෝදනා අපට එල්ල කරනවා. කිසිඳු විදේශීය බලවේගයකට දේශයේ ස්වෛරීත්වයට කිසිඳු බලපෑමක් කිරීමට ඉඩ නොදෙන බව මා බොහොම පැහැදිලිව කිව යුතුයි. පසුගිය ඉරිදා කුරුණෑගල දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ දී සම්මත වුණේත් අද ඔබ මේ සම්මත කර ගත් වැනි යෝජනාවක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් මෙම සටන් පාඨය මත එකට සිටගෙන වැඩ කටයුතු කිරීමට හැකි බව පැහැදිලිව කිව යුතුයි.
අප ප්රශ්නවල සංකීර්ණ ස්වභාවය තේරුම් ගත යුතුයි. බලය නොමැතිව කරන්නා වූ විවේචන බොහොම සරල ඒවා බව අපට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ඒවා පිළිබඳ නොතැවී අප කිරීමට යන නව දේශපාලන ප්‍රතිසංස්කරණ සහ මේ රටේ මානව හිමිකම් ආරක්ෂා කරමින් මේ රට සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට තමුන්නාන්සේලා සහ අප සියලු දෙනාම සම්මුතිවාදී ආණ්ඩුව ඉතාමත් ශක්තිමත් ලෙස කටයුතු කොට ඉතා නිදහස් රාජ්‍යයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැගීමට මමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් කැප වන බව අවධාරණය කරනවා.
පසුගිය වසරේ ජනවාරි මස 08 වැනි දා ජනතාව විසින් පරාජය කරන ලද බොහෝ දේ තිබෙනවා. දූෂණය, වංචාව, හොරකම, නාස්තිය, පවුල් වාදය මේ රටේ නැවත ඇති නොවන ආකාරයට නිදහස් ප්රජාතන්ත්රවාදී ජාතික සංහිදියාව සහිත රටක් ගොඩනැගීමේ කාර්යයට අද අප මුහුණ දී තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට ඉතා සාධාරණ ලෙස මේ රටේ පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අප ඇපකැප වී සිටිනවා. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපි කර ගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙන් ඉතා අසත්‍ය කරුණු ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කරනු ලබනවා.
එක්තරා ජාතික පුවත්පතක ලිපියක් මා දුටුවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණුවලින් පිරී තිබුණා. මේ රටේ ජනතාව උගත් බුද්ධිමත්, පරිණත පිරිසක්. මෙම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තැන් තැන්වල කතා කරන අසත්‍ය ප්‍රකාශවලින් ජනතාව නොමග නොහරින ලෙස මම සියලඅ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා. එය ජාතික අපරාධයක්... ඩී.එස්. සේනානායක මහතා වසර 70 කට පෙර කතා කළ දේ අපට අදත් කතා කිරීමට සිදුව තිබෙන්නේත්, 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අලූත් ආණ්ඩුවක් පිහිටුවා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සහ 1965 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම සම්බන්ධයෙන් අපට අදත් කතා කිරීමට සිදුව තිබෙන්නේත් එම ප්‍රශ්නවලට නිසි පියවර ගනිමින් සිටිය දී ඇතැම් නායකයින් ඒවාට අකුල් හෙළන නිසයි. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරයේ දී සම්මත කර ගත් ඉහත යෝජනා මා විශේෂයෙන් අගය කරනවා. ලෝකයේ ප්රබුද්ධ, විශිෂ්ට රාජ්‍යයක් ලෙස දුගී භාවය, සමාජ අසාධාරණය තුරන් කොට ස්වදේශික භාවය තුළ රටේ අනන්‍යතාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ යුතුයි.
එදා අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කළේ සිංහලයිනි නැගිටිව් කියායි. අද මම මේ රටේ මහජනතාවගේ පොදු සේවකයා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකිකයිනි නැගිට්ව් යනුවෙනුයි. මුළු සමාජ සංස්ථාව තුළම සාමය ස්ථාපිත කරමින් බිය සැක තුරන් කොට ජනතාවට නිදහසේ, සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනාම කැපවෙමු. ඒ තුළ සම්මුතිවාදී වගකීම් සහ යුතුකම් ඉටු කරමින් මේ රටට සෞභාග්‍යය උදා කරමු යැයි පවසමින් මේ රට ගොඩනැගීමේ කාර්යයට උරදීමට සියලු දෙනාට හැකිවේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා. "