බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සමාජ ප්‍රගමනය උදෙසා වූ විද්‍යාව හා තාක්ෂණ ජාත්‍යන්තර සමුළුවේ දී අග්‍රාමාත්‍යවරයා පසුගියදා මේ බව සඳහන් කළේය.
ඒ නිසා මෙහි ප්‍රධාන කාර්ය භාරය වන ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් විද්‍යා හා තාක්ෂණික පදනමක් බිහිකිරීමේ කටයුත්ත විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත පැවරෙන බවත් මෙම සංවාද සමුළුවේ න්‍යාය පත්‍රයෙන් සංකේතවත් වන ජාත්‍යන්තර සමාජය සමඟ අනුෂාංගිකභාවය, තිරසාරත්වය හා පුළුල් සහභාගීත්වය යන කණු තුන උඩ අනාගතය සැලසුම් කරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන උපක්‍රමයට තිරසාර සංවර්ධන ඉලක්ක 17 ම ඇතුළත් වන බව ද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"මේ අවස්ථාවේදී මහත්මා ගාන්ධි පැවැසූ දේ මට සිහිපත් වෙනවා. පෘථිවියට මිනිසාගේ අවශ්‍යතා ඉටුකරන්නට හැකි නමුත් කෑදරකම තෘප්තකළ නොහැකියි. ස්ටොක්හෝම් ප්‍රත්‍යස්ථිතික මධ්‍යස්ථානය තර්ජිත ප්‍රදේශ 9ක් හඳුනාගෙන සීමා ලකුණු කිරීමෙන් පසුව ‘මානව වර්ගයාට ආරක්ෂිතව හැසිරිය හැකි වපසරිය” වශයෙන් හඳුන්වාදෙන කලාපය තුළට අපේ ජීවිත හා ජීවන වටපිටාව සීමාකර හැඩගස්වා ගන්නට අවශ්‍යයි. මේ කලාප විශ්ලේෂණයේදී මානව වර්ගයා සිටින්නේ ආරක්ෂිත කලාපයකද නැතහොත් "අස්ථාවර” හෝ "අනතුරුදායක” කලාපයකද යන්න හඳුනාගත හැකියි. කාලගුණ විපර්යාස අතින් බලුවිට අප සිටින්නේ අවිනිශ්්චිත කලාපය තුළයි. ඒ වුණත් ජෛව විවිධත්වය අහිමිවීම හා ජෛව - භූ රසායනික (විශේෂයෙන් නයිට්‍රජන් හා පොස්පරස්) අතින් බලනවිට කියන්නත් කණගාටුයි අප සිටින්නේ අනතුරුදායක කලාපයේ. අනතුරුදායක කලාපයේ සිටිනවා යන්නෙන් අදහස් වන්නේ වැඩිකල් නොගොසින්ම අප සීමාව ඉක්මවා ගොස් අනතුරේ මායිම් ලක්ෂ්‍යයකට සේන්දුවන බවයි. මේ ලක්ෂ්‍යයේදී ආපසු හැරවිය නොහැකි දැවැන්ත වෙනසක් සිදුවෙනවා. ඉන්පසුව උද්ගතවන තත්ත්වය තුළ මිනිස් වර්ගයාට යහපත් වාතාවරණයක් සැලසේවිද නැතිනම් සියල්ලන් විනාශවී වඳවී යාවිදැයි කියන්නට බැහැ. අනතුරු වළක්වා ගැනීමේ මූලධර්මය අනුගමනය කරමින් මේ ගෝලීය සීමාවලට ගරුකළ යුතු බව මගේ විශ්වාසයයි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ප්‍රජාවට මෙබඳු ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නැයි මා උදක්ම ඉල්ලා සිටිනවා.
කඳුකර වනබිම්, වන ජීවීන් ගහණ වනබිම් ආරක්ෂා කිරීම නොසලකා හැරීමේ හා, ගංගා ද්‍රෝණි හා ජලගැලීම් සිදුවන තැනිබිම් කළමනාකරණය නොකිරීමේ විපාක අපට දැනෙන්නට පටන් අරන් තිබෙනවා. මධ්‍යම කඳුකරයේ දකුණු බෑවුමේ ඌ තේ වගා පවතින පෙදෙස් දැන් සීග්‍රයෙන් පරිහාණියට පත්ව සෝදා පාලූවන බවක් පෙන්නුම්කරනවා. යුනෙස්කෝ සංවිධානයෙන් සැකසූ නකල්ස් මිනිස් ජීව ගෝල සංචිතයේ සීමාන්තරික කලාපයේ ජනාවාස ආශ්‍රිතව දියපාර හා ඇගිලි ඛාදන දක්නට ලැබෙනවා. නුවරඑළිය කඳුකරයට ලාක්ෂණිකවූ මඳ වැස්ස අතුරුදන්වීමත් සමඟ අපේ ජලවිද්‍යාවෙහි එතරම් පෙරළිකාර නොවුවත් ප්‍රබල වෙනසක් සිදුවෙමින් තිබෙනවා. මට දැනගන්නට ලැබී ඇති ආකාරයට මේ ක්‍රමාණුකූලව සිදුවන දිය සිඳීයෑම අපේ දිගම ගංගාව වන මහවැලියෙදි ජල මට්ටම සියයට 30කින් පමණ අඩු වෙනවා.
මේ ආකාරයෙන් වියළි ස්වභාවයක් මතුවන විට ඊට අනුවර්තනයවීමක් වශයෙන් නුවරඑළියේ ශාකවල ශාකපත්‍රවල සෙලියුලෝස් ප්‍රමාණය ඉහළයෑම නිසා පොලිෆීනෝල් අධික උඩරට තේ වගාවේ දළු ප්‍රමාණය වෙනස්වන්නට පටන්ගෙන තිබෙනවා. මේ තත්ත්වය යටතේ මෙවන් ප්‍රවණතා ආපසු හැරවීමට හැකි තැන්වල එසේ කිරීමටත් නොහැකි තැන්වලට හැඩ ගැසීමටත් දුර දැක්මක් ඇතිව කල්තියා සැලසුම් සකස්කළ යුතුයි. මේ සඳහා විද්‍යාවේ තාක්ෂණයත් ඉතා වැදගත්."
අතීතයේදී මුහුදු මාර්ගික සේද මාවතේ තිබුණාක් මෙන් ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වේගවත් ගතිකයකින් යුත් කේන්ද්‍රස්ථානයක් කරමින් ගෝලීය වටිනාකම් දාමයට එකතුවීම පිණිස විද්‍යා හා තාක්ෂණයෙන් දිවෙන ප්‍රවේශයක් සඳහා අපි පදනම සකසමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් හඳුනාගත් වැදගත් අංශ පහක් තිබෙන බවත් අගැමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
1. කෘෂිකර්මය, වනවිද්‍යාව හා ධිවර කර්මාන්තය පිළිබඳ උසස් විද්‍යා තාක්ෂණ ආයතනයක්
2. තීද්‍යා තාක්ෂණ ආයතනයක් මගින් දිවෙන නිෂ්පාදන හා සේවා ආර්ථිකයක්,
3. උසස් තත්ත්වයේ මීළඟ පරපුරේ යටිතල හා කලාපීය සංවර්ධනයක්
4. අපේ ජාත්‍යන්තර වරාය හා ගුවන්තොටුපල හරහා ගෝලීය නැව් භාණ්ඩ ප්‍රවාහන හා සංචාරකත්ව වර්ධනයක්
5. විපත් ආපදා අවදානම අඩුකිරීම හා වැඩි දියුණුකල ජලවිද්‍යා කළමනාකරනයක් ඇතුළුව ගොඩබිම ජලයේ හා ගුවනේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව