ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් දෛනිකව ත්‍රී රෝද රථ හා කුලී වාහන සේවා භාවිතා කරනවා. නමුත් නිතරම ලැබෙන පැමිණල්ලක් තමයි බොහෝ රථවලින් අයකළ යුතු මුදලට වඩා වැඩි මුදලක් අයකරන බව. මේ ගැන අපේ අමාත්‍යාංශය අවධානය යොමු කර සැළැස්මක් සකස් කළා. 2017 වර්ෂයේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ ඇතුළු සියළුම කුලී වාහන සඳහා නිශ්චිත මුදලක් අය කිරීම සඳහා මීටර සවිකිරීමට.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මේ කාර්යය සිදුකරගෙන යයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවේ කුලී රථ මීටර ලබාදීම නෛතික මිනුම් විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (OIML ) රෙගුලාසි වලට අනුව සිදුකරන බවයි. ඒ අනුව මීටර සවිකිරීමෙන් පසු නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කරන බව මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රේමසිරි කුමාර මහතා පවසයි.
“ඉදිරියේ දී මේ වැඩටසටහන ක්‍රියාත්මක කිරීමේ දී ටැක්සි මීටරයේ නිරවද්‍යතාවය හා විශ්වසනීයත්වය තහවුරු කරගත හැකි වේවි. ඒ හේතුවෙන් සාධාරණ ගාස්තු ක්‍රමයක් ජනතාවට ලැබෙනවා. දැනටමත් අපි දකිනවා කොළඹ නගරයේ මීටර සවිකළ ත්‍රී රෝද රථවලට තමයි වැඩි ඉල්ලුමක් තිබෙන්නේ. ජනතාවගේ මතයක් තිබෙනවා මීටර නැති ත්‍රී රෝද රථ අසාධාරණ ලෙස මුදල් අයකරනවා කියා. කුලී රථ රියදුරන් ද රටේ ප්‍රවාහන කාර්යය සඳහා විශාල සේවයක් කරනවා. අපේ රජයේ බලාපොරොත්තුව මේ සේවාව ජනතාව අතර වඩාත් විශ්වාසය දිනාගත් සාධාරණ සේවාවක් බවට පත්කිරීම“
දෙපාර්තමේන්තුව පවසන්නේ කුලී රථ මීටර මාදිලිවලට අනුමැතිය දීමටත් අවශ්‍ය ස්ථානවල දී පරීක්ෂා කටයුතු කිරීමටත් මිනුම් උපකරණවලින් යුතු මධ්‍යස්ථාන පිහිටුවීමේ කටයුතු දැනට සිදුකරගෙන යන බවයි.