ඒ අනුව එහි මුලික කටයුතු සොය බැලීම සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා විසින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ජේ.එන්. මංගලතිස්ස මහතාගේ මුලිකත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර වාර්තාවක් ලබා ගැනිමට නියමිත බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අස්ගිරි පාර්ශවය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේඛකකාධීකාරී පුජ්‍ය නාරම්ප්රනාවේ ආනන්ද හිමි, මල්වතු පාර්ශවය නියෝජනය කරමින්, එහි වැඩබලන ලේඛකකාධිකාරී පුජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල හිමි, පුජ්‍ය අකුරැටියේ නන්ද හිමි. බෞද්ධ කටයුතු කොමසාරීස් නිමල් කොටවලගෙදර, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය සභාපති ජගත් සුමතිපාල, හිටපු පරිපාලන නිලධාරි ගාමිණි කාරියවසම් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ උප සභාපති සුගත් මඩුගල්ල යන මහත්වරුන් ඇතුලත් වන අතර,මෙම කමිටුවේ ලේකම්වරයා වශයෙන් අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ශාස්ත්‍රපති හර්ෂ බී.අබේකෝන් මහතා කටයුතු කරනු ඇත.
මෙම කමිටු වාර්තාව ලබන 26 වන දින අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
වසර 2500කට අධික බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ නිර්මල ථේරවාදී බුදුදහම හා එහි හරයන් පිළිබඳව ලෝක බෞද්ධ ජනතාව වෙත විශේෂ පණිවුඩයක් ගෙනයමින් ශ්‍රී ලංකාවේ කීර්තිය පිළිබඳ ලෝක ජනමතය අවධිකිරීම සඳහා වසර 2017 දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙසක් දිනය හා ජාත්‍යන්තර බෞද්ධ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අරමුණු වේ.
මෙම කමිටුව පත්කිරීමෙන් පසු එම කමිටුවේ වාර්තාවක් ජනාධිපතිවරයා හා අග්රාමාත්යවරය දැනුවත් කිරීම දි සිදු වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ වෙසක් උළෙල සඳහා තායිලන්තයේ ලෝක බෞද්ධ සම්මේනලය, ආසියාතික හා ශාන්තිකර කලාපීය බෞද්ධ රටවල බෞද්ධ සංවිධාන, යුරෝපා රටවල බෞද්ධ සංවිධාන මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් නියෝජනය කරන මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු 700කට අධික බෞද්ධ නායකයින් පිරිසක් මෙම වෙසක් උළෙලට සහභාගී වනු ඇතැයි විශ්වාසය පලකර තිබේ.
ජාත්‍යන්තර මට්ටමින් ලෝක බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් මුල්කරගෙන පැවැත්වෙන මෙම ලෝක බෞද්ධ සමුළුව හා වෙසක් දිනය ලෝක බෞද්ධ ජනතාව ඒකරාශී කිරීම,බෞද්ධ රටවල ජාත්‍යන්තර සබඳතා පුළුල් කිරීම,ලෝක බෞද්ධ ජනතාව අතර අන්යන්යෝන්ය මිත්‍රත්වය හා සහයෝගීතාව වර්ධනය කිරීම, ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනික හා හුවමාරු වැඩසටහන් දියත් කිරීම,ලෝක බෞද්ධ උරුමයන් පිළිබද බෞද්ධ රට රටවල් දැනුවත් කිරීම හා ආරක්ෂා කිරීම,බෞද්ධ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම, ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා බුදු දහමේ කැපවීම ජාත්‍යන්තරව මතවාදීව ප්‍රචලිත කිරීම වැනි අරමුණු පදනම් කරගෙන පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් දිනය මෙරට පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් වඩා වැඩි වටිනාකමක් හිමිවනු ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය විශ්වාසය පලකරයි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත සංවිධානය කෙරෙන මෙම ජාත්‍යාන්තර සමුළුව සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ආයතනය මෙන්ම පුද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය ලබා ගැනීම කෙරෙහි මෙම කමිටුවේ විශේෂ අවධානය යොමු වීඇති අතර, ත්‍රෛයි නිකායික නායක ස්වාමීන් වහන්සේලා හා අනෙකුත් නිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් හා අනුශාසනා ලබා ගැනීමටද නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.