නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍ඉදිරි මාස දෙකතුන ඇතුළත රජයේ වැඩපිළිවෙළ රට හෙළි වෙයි- අගමැති Featured

    අප්‍රේල් 02, 2016

    ඊළඟ මාස දෙක තුන ඇතුලත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවේ  වැඩසටහන් සියල්ල හෙලිදරව් කොට ඉන් ලැබෙන වාසිය පිළිබඳව රටට හෙළි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳ සාකච්ඡා කොට ලබන අඟහරුවාදා එය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ද ඊට ගැළපෙන ලෙස සකස් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    පක්ෂයේ පළපුරුදු නායකයින් සිටින් අතර දෙවැනි පෙළ ආණ්ඩුවේ වැඩ කටයුතු සහ පක්ෂයේ වැඩ කටයුතු මෙන්ම රටට ප්‍රචාරය කිරීමේ වැඩකටයුතුත් භාර දෙන අතර  පක්ෂයේ තුන්වන පෙළට අනාගතය දෙස බලා ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමේ වගකීම බාරදෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    ඊළඟ මාස කීහිපයේදී චීනය, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ යුරෝපා රටවල් සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් නිසා රැකියා බිහිකිරීමේ පසුබිම තවත් තහවුරු වන බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අප රැකියා අවස්ථා ඇතිකිරීම සඳහා විදේශ ආයෝජන මෙරටට ගෙන ඒමේ  කිසිම සැකයක් ඇතිකරගත යුතු නැති බව ද අවධාරණය කළේය.

     

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

     
    "2014 වසරේ සිට මේ රට අලුත් මඟකට යායුතු බව අප තීරණය කර තිබෙනවා. මෙම ප්‍රතිසංවිධාන කටයුතු අරඹන්නේ  එම අරමුණ මූලික කරගෙනයි. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට අප සම්පූර්ණ සහයෝගය ලබාදී රට වෙනසකට ගෙනයාමේ මූලික පියවර තැබුවා. එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ අප එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී ජාතික ආණ්ඩුවක් ඇතිකළා. රටේ ස්ථාවර බව ඇතිකිරීම සදහා එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගමන් කරන හෙයින් දැන් අපේ පක්ෂයද ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලය නැවතත් තහවුරු කිරීම අපේ මූලික අරමුණක් වුණා. අප ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කර තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහායි. 


    අප දැන් පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇතිකර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කොට ඉදිරියට ගෙනයාම සඳහා අප මූලික පියවර රාශියක් ගෙන තිබෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට යහපත් ආර්ථික, සමාජ දියුණුවක් ලබාදීම මේ සියල්ලටම වඩා වැදගත් බව කිව යුතුයි.


    මේ රටේ තරුණ තරුණියන් සදහා රැකියා ලක්ෂ දහයක් බිහිකරන බවට මැතිවරණයේදී පොරොන්දු වුණා. ඒ වැඩකටයුතු සඳහා අපගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබෙනවා. ඊළඟ මාස කීහිපයේදී චීනය, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ යුරෝපා රටවල් සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් නිසා රැකියා බිහිකිරීමේ පසුබිම තවත් තහවුරු වෙනවා. අප රැකියා අවස්ථා ඇතිකිරීම සඳහා විදේශ ආයෝජන මෙරටට ගෙන එනවා. ඒ පිළිබදව කිසිම සැකයක් ඇතිකරගත යුතු නැහැ.
     
    නොයෙක් ව්‍යාපාරිකයන් මේ දිනවල විවිධ ප්‍රකාශ කරන අයුරු දක්නට තිබෙනවා. අපි දැන් අලූතින් වැඩ කිරීම ඇරඹුවා. අපේ සැලසුම් මොනවාදැයි තවම මේ අය දන්නේ නැහැ. ඊළඟ මාස දෙක තුන ඇතුලත අපගේ වැඩසටහන් සියල්ල හෙලිදරව් කොට ජාතික ආණ්ඩුවෙන් ලැබෙන වාසිය පිළිබඳව රටට හෙළි කරනවා.


    අපේ රටේ මිලියන 20ක් වූ දේශීය වෙළෙඳ පොලෙන් රැකියා ලක්ෂ දහයක් බිහිකිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා විශාල වෙළෙඳ පොළක් අවශ්‍යයි. අපේ භාණ්ඩ අලෙවි කිරීමට, කෘෂිබෝග අලෙවි කිරීමට, සේවා ලබාගැනීමට පුළුල් වෙළෙඳ පොළක් අවශ්‍යයි. මිලියන 20ක ජනගහණයකින් අපේ අරමුණු කරා ගමන් කිරීමට හැකියාවක් නැහැ. චීනය, ජපානය ආදී රටවල් සිය අරමුණු කරා ගමන් කළේ තම රටේ ජනගහණයට වඩා විශාල වෙළෙඳ පොළක් ලබාගැනීම නිසයි.

    එමනිසා විශේෂයෙන්ම අප චීනය සමග ඒකාබද්ධ ආර්ථික වැඩසටහනකට යොමු වෙනවා. එමෙන්ම චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම ගැන සාකච්ඡා කරනවා. ජපානය සමගත් ඒ අයුරින්ම කටයුතු කරනවා. සිංගප්පුරුව සමගත් වෙළෙඳ ගිවිසුමකට එළඹිම පිළිබදව තීරණය කරනවා. යුරෝපයෙන් ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත ලබාගැනීමට අප කටයුතු කරනවා. මේ වසර අවසන් වීමට පෙර යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවන බව අපගේ අපේක්‍ෂාවයි. එමෙන්ම ඉන්දියාව සමගත් අප ආර්ථික සහ තාක්ෂණ ගිවිසුමක් අත්සන් කරනවා. මේ එක කරුණක්වත් අප රහසේ කරන්නේ නැහැ. මේ සියල්ලක්ම අප කරන්නේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

    මෙම ගිවිසුම් අත්සන් කොට ආර්ථිකය දියුණු කිරීම සදහා අප ජනවරමක් ලබාගෙන තිබෙනවා. එම ජනවරම ලබාගන්නා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙසේ සදහන්ව තිබුණා. මෛහිදී දේශීය වෙළෙඳ පොළට වඩා විශාල වෙළෙඳ පොළක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. GSP+ තීරුබදු සහනය ලබාගැනීමෙන් අපට යුරෝපයේ කෝටි 50ක ජනගහණය අපේ වෙළඳපොළක් කරගැනීමේ අවස්ථාව උදාවේ. GSP+ තීරුබදු සහනය අපට අහිමි වූයේ දූෂිත රාජපක්ෂ රෙජිමය යටතේය. එයට අමතරව ධීවර නිෂ්පාදන අපනයනය සම්බන්ධ තහනමක් ද ඇත. අද වන විට අපි මෙම තහනම ඉවත් කර ගැනීමටත් GSP+ තීරුබදු සහනය යළි ලබාගැනීමටත් කටයුතු කරමින් සිටිමු. GSP+ තීරුබදු සහනයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, නැගෙනහිර ආසියාව සහ අනෙකුත් සාක් රටවල් සමඟ වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම්වලට ඇතුළත් වීමෙන් අපේ නිෂ්පාදන වෙනුවෙන් තවත් සුවිශාල වෙළඳපොළක් ලබාගැනීමට කටයුතු කරන්නෙමු.

    මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඡන්දය ලබා දුන්නා. එමෙන්ම තවත් පක්ෂ ගණනාවක් මෙම ප්‍රතිපත්තියට එකඟයි. අප කිසිවක් සඟවා නැහැ. ඉන්දියාව සමඟ සීපා ගිවිසුමක් අප අත්සන් කරන්නේ නැහැ. වෘත්තීයවේදින් මෙහි ගෙන්වන්නේ නැහැ. අපට අවශ්‍ය ආර්ථික සහ තාක්ෂණික ගිවිසුමක් පමණයි. මේ සියල්ල සඳහාම අපට ජනවරමක් තිබෙනවා. අප ක්‍රියා කරන්නේ ඒ ජනවරමට අනුවයි.


    අප මේ ගිවිසුම් සකස් කළ විට ඒ හැම ගිවිසුමක් සඳහාම ජනතාවට වගකිව යුතු හෙයින් පළමුවෙන්ම එම කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අප අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව මගින් එම ගිවිසුම් මාධ්‍යයට, වෘත්තීයවේදීන්ට ව්‍යාපාරිකයන් ඇතුළු සියලූම පාර්ශවවලට එම ගිවිසුම් ලබාගත හැකියි. අප මේ ගිවිසුම් සම්බන්ධව විවෘතව සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණා. පළමුවෙන්ම අප පාර්ලිමේන්තුවේ අදහස් ලබාගත යුතුයි. ජනතා අදහස්ද පාර්ලිමේන්තුවට ලබාදිය හැකියි. අප සාකච්ඡා කළ මේ කටයුතු සිදුකළ යුතුව තිබෙනවා.

    ඉන්දියාව, චීනය හෝ වෙනත් ඕනෑම රටක් සමඟ ගිවිසුම් අත්සන් කරන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව පැහැදිලිව සඳහන් කරනවා. ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අප දන්නේ නැහැ. අප කැපවී සිටින්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉදිරියට ගෙන යාම සඳහායි. ඉන්දියාවේ වෙළෙඳපොළට ඇතුළු වූ විට තීරුබදු නොවන පරිපාලන බාධක ඉවත් කිරීමට පියවර අවශ්‍ය බව ඇතැම් ව්‍යාපාරිකයන් අදහස් පළකළා. අපත් ඒ පිළිබදව ඉන්දියාව සමග සාකච්ඡා කරනවා. ඉන්දියාවේ පරිපාලන බාධක වැඩියි. ඒ පිළිබදව විශේෂ අවධානය යොමුකර තිබෙනවා.


    ඉන්දියාව සමඟ ගණුදෙනු කිරීමේදි ශ්‍රී ලංකාවේ පරිපාලන බාධක නැහැ. නමුත් ඉන්දියාවේ ප්‍රාන්ත සමඟ කටයුතු කිරීමේදී විවිධ බාධක එළඹෙනවා. ඒ පිළිබදව ගැටලු නිරාකරණය කර ගත යුතුයි. රටවල් දෙකටම සමාන තත්ත්වයක් ඇති කරගත යුතු වෙනවා. මේ සියලුම ගැටලු අප සාකච්ඡා කර විසඳ ගත යුතු බව අපගේ හැඟීමයි.

     

    දැන් රටේ බමුණු කුලයක් ඇතිවී තිබෙනවා. මේ සියලුම දේ ඔවුන් සමග කතා කළ යුතු යැයි ඒ අය කියනවා. අපේ ආණ්ඩුවට බමුණු කුල නැහැ. අපට ජනතාව වරමක් ලබාදී තිබෙනවා. අප ගනුදෙනු කරන්නේ ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුව සමගයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර තමන්ට ගිවිසුම් පෙන්විය යුතු යැයි කවුරුන් හෝ කියනවාද? තමන් සමග සාකච්ඡා කොට ගිවිසුම් සකස් කළ යුතු යැයි කවුරුන් හෝ කියනවාද? මේ බමුණු කුලයේ උදවිය ගිහින් රාජපක්ෂට පන්දම් ඇල්ලුවා. තවමත් පන්දම් අල්ලනවා.
     
    මේ වැඩකටයුතු කිරිම සඳහා අපට ජනතා සහයෝගය තිබෙනවා. අප සියලුම වැඩකටයුතු කරන්නේ ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ඔවුන් අදහස් පළකිරීම සදහා මුළු රටටම අවස්ථාව ලැබෙනවා.  "අපි බමුණෙක්, ඒ නිසා ජනතාවට කලින් අපට අවස්ථාව දිය යුතුයි. අවස්ථාව ඇත්තේ අපටයි. උඹලාට නෙවෙයි” යනුවෙන් කිසිවෙකුටත් කියන්නට හැකියාවක් නැහැ. බමුණාද වසලයාද යන කරුණ තීරණය කරන්නේ වසල සූත්‍රයට අනුවයි. මම බමුණා උඹවසලයා යනුවෙන් කිසිවෙකුටත් කියන්නට හැකියාවක් නැහැ. අප කටයුතු කරන්නේ ජනතා නියෝජිතයන් ලෙසයි. ලිච්ඡවි රාජ ධර්මවලට අනුවයි. බමුණු කුල ඇතිකරන්න අපි සූදානම් නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමක් කරන්න සූදානම්. පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාගෙන අප මේ කටයුතු ඉදිරියට ගෙන යනවා.
     
    ඇතැම් මාධ්‍ය මේවා කරන්න පුළුවන්දැයි යනුවෙන් සඳහන් කරමින් විවිධ වාර්තා පළකර තිබුණා. ඒ ගැන මට පුදුමයි. මේවා සාකච්ඡා කරන අය සුදුසු නැතැයි ද අයිලන්ඩ් පුවත්පතේ සදහන් කර තිබුණා. මෙම වැඩකටයුත්තේ ප්‍රධානියා ලෙස ඉන්නේ සමන් කැලේගම මහතා බව මා අයිලන්ඩ් පුවත්පතට කියන්නට කැමතියි. සමන් කැලේගම යනු කවුදැයි දැනගන්නට කැමති නම් තමන්ගේම අධ්‍යක්‍ෂක මණ්ඩලයෙන් තොරතුරු දැනගන්නට යැයි මා පවසනවා. මේ පත්තරවල දකුණු අත දන්නේ නැහැ වම් අත ලියන්නේ මොනවාද කියා. සමහර අය රාජපක්ෂ රෙජිමයට ගිහින් තවම බෙරය ගහනවා. ජී.එල් පීරිස්ගෙන් අහනවා. එයා දන්න ආර්ථිකයක් තිබෙනවාද ?

    අද තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ අනාගතය අප ලබාදිය යුතුයි. විදුලිබල අර්බුදය පිළිබදව ලබන සතියේ පාර්ලිමේන්තුවේ අප සාකච්ඡා කරනවා. මීට වගකිවයුතු අය පිළිබදව ජනතාව දැනගත යුතුයි. ඒක ජංගම දුරකථනය අරගෙන ලංකාදීප පත්තරයට කතා කරලා, දිනමිණ පත්තරයට කතා කරලා අපි දන්නවා අපියිි කරන්නේ කියන සෙල්ලම නොවෙයි. මේවා කරන්නේ කවුද කියා රට දැනගත යුතුයි.

    රටේ ජනතාවට විදුලිබලය ලබාදිය යුතුයි. මට ලැබුණු වාර්තා පිළිබදවත් මා දැනුම් දෙනවා. විදුලි බලය ලබාදෙන්නට බැරිවුණේ ඇයිදැයි දැනගත යුතුයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් අප පාර්ලිමේන්තුව විවෘත කර තිබෙනවා. බමුණු කුලය කරපින්නා ගෙන වැඩකරන්නට අප සූදානම් නැහැ. බමුණු කුලය ගිය සැරේ තිබුණා. ඒ ගොල්ලෝ වෙනම දාගෙන රට කෑවා. දැන් එතැනින් රට බේරාගත යුතුයි.

    විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හැටියටත්, ජාතික ආණ්ඩුව ලෙසත් අප ක්‍රියාකරනවා. අනාගතය පිළිබඳව දර්ශනයක් ඇතිකිරීමට අප වැඩකටයුතු කරනවා. අප අතීතය දෙස බලා හඬන මිනිසුන් නොවේ. අප අනාගතය දෙස බලා වැඩකරන මිනිසුන් බව කිව යුතුයි.  අප මේ සාකච්ඡා පවත්වන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සදහායි. අප සියලූම යෝජනා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මා අවධාරණය කරනවා. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya