ඒ තුළින් අභාවයට ගොස් ඇති පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද යළි භාවිතයට නැඹුරු වීම මෙන්ම මෙරට අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ද එම ශිල්පීය ක්‍රම භාවිත කළ හැකි වේ.
කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (18) පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ සිදු කළ විශේෂඥයින් පිරිසක් සමඟ පැවති හමුවක දී අමාත්‍ය දයා ගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
පාරම්පරික වෛද්‍ය ක්‍රම ක්‍රමයෙන් අභාවයට යාමත් සමඟ බටහිර වෛද්‍ය විද්‍යාව වෙත සහ ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමවලට යොමු වීමක් දක්නට ලැබුණු නමුත්, රජයක් ලෙස පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් යළි ජනප්‍රිය කිරීමට පියවර ගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
හෙළ වෙදකම යළි නගා සිටුවමින් එය අන්තර්ජාතිකව ජනප්‍රිය කිරීමට පියවර ගත යුතු බවත් ඒ හරහා ද මෙරට අපනයන ආදායම ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම හමුවට සහභාගී වී සිටි පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ සිදු කළ සියලු දෙනා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් තම පර්යේෂණ මෙහෙයවා තිබිණි. ශ්‍රී ලංකාවේ ද පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙයවීමේ දී පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනම මාවතකත් වෙළඳපොළ අවශ්‍යතා සහ ඉලක්කයන් වෙනම මාවතකත් ගමන් ක්‍රමය වෙනුවට, පර්යේෂණ-සංවර්ධන හා වෙළඳපොළ අවශ්‍යතා-ඉලක්ක එකිනෙක සම්බන්ධ වෙමින් කටයුතු කරන ක්‍රම වේදයක් ජනප්‍රිය කළ යුතු වේ.
මේ සඳහා පාරම්පරික වෙදකම සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂකයින් එක්ව අවබෝධතා ගිවිසුමකට ද එළඹීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා යන මහත්වරුන් ද පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂකයින් කණ්ඩායමක් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.