මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා උපදේශන සේවාව ව්‍යාප්ත කෙරේ

    මැයි 27, 2014

    දිවයින පුරා උපදේශන සේවාව ව්‍යාප්ත කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.විවිධ හේතු නිසා හිංසනයට හා පීඩනයට පත්වන දරුවන්ගේ හා කාන්තාවන්ගේ මානසික තත්ත්වය යහපත් අයුරින් තබා ගැනීමට අවශ්‍යවන උපදෙස් හා මඟපෙන්වීම මෙන්ම දැනුවත් කිරීමට අමතරව සමාජයේ උපදේශනය අවශ්‍ය සැමට එය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    ඒ සඳහා මේ වන විට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශ උපාධිධාරී උපදේශන සහකාර නිලධාරීන් 220 දෙනෙක් බඳවාගෙන ඇති අතර ඔවුන් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර අදාළ සේවාවන් ලබාදීමට පියවර ගෙන තිබේ.


    මෙලෙස බඳවා ගන්නා ලද උපදේශන සහකාර නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ධාරිතා වර්ධනය කිරීම සඳහා වන පුහුණු වැඩමුළුවක් ඉකුත් 23- 24 දා තලාහේන ප්‍රජා අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එහි දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයීය කාර්යභාරය, ආයතනික ව්‍යුහය, ආයතන සංග්‍රය, මුදල් රෙගුලාසි වැනි රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය  විෂය දැනුම මෙන්ම මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අදාළ සම්පත් දායකයින් මගින් උපදේශන නිලධාරීන් දැනුවත් කරන ලදී.

    විශේෂයෙන් රට තුළ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් හරහා ඇති වන භෞතික දියුණුවට සමගාමීව පුද්ගලයන් තුළ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා මෙම නව උපදේශන වැඩසටහන ආරම්භ කර තිබේ.ඒ සඳහා සමාජ සේවා, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි අමාත්‍යාංශ හා සම්බන්ධ වීමට ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    විවිධ අයුරින් හිංසනයට හා අතවරයට පත්වන දරුවන් මෙන්ම විවිධ හේතු නිසා සමාජයේ පීඩනයට පත්වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය  යහපත් අයුරින් පවත්වා ගැනීමට උපකාර වන උපදේශන ක්‍රමවේදයක් සකස් කොට කඩිනමින් ක්‍රියාවේ යෙදවීමට මේ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    දශක තුනක් පුරාවට පැවති යුද්ධය හේතුවෙන් විවිධ මානසික පීඩනයන්ට ලක් වූ උතුරු, නැගෙනහිර හා දකුණේ ජනතාවගෙන් ඇතැම් පිරිස් තවමත් විවිධ මානසික ව්‍යාකූලතාවයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන් සඳහා ද මෙම උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    දියුණු රටවල්වල පවා උපදේශනය ප්‍රධාන විෂයක් ලෙස සමාජ පිළිගැනීමට ලක්ව ඇත්තේ පුද්ගලයාගේ පැවැත්මට එයින් ධනාත්මක ප්‍රතිඵල අත්වන නිසා බව තලාහේන පුහුණු මධ්‍යස්ථානයේ පැවති උපදේශන පුහුණු වැඩමුළුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ "සමාජයේ විවිධ හේතු නිසා දරුවන් හා කාන්තාවන් හිංසනයට පත්වීම මූලික කරගනිමින් එය වැළැක්වීමට යම් යම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන අතරතුර නිවැරදි උපදේශනය තුළින් විවිධ මානසික ව්‍යාකූලතාවන්ට පත්ව සිටින පුද්ගලයන්ට මානසික සහනය ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. අද ඇතැම් පුද්ගලයන් පුංචි හේතුවක් මුල්කරගෙන පවා ලොකු අපරාධ, විනාශයන් සිදුකරනවා.

     
    ඇතැම් විට කාලාන්තරයක් තිස්සේ කිසිවෙකුට කියාගන්නට නොහැකි සුළු දෙයක් නිසා ඒ පුද්ගලයාට ජීවිත කාලයටම දුක් විඳින්න සිදුවන වැරැද්දක් ඔහුගේ අතින් සිදුවිය හැකියි.සංස්කෘතික හේතුවක් හෝ ලැජ්ජා - බය නිසා මුල්ගැන්වී සිටින ඇතැම් පුද්ගලයන්ගේ හඬට සවන්දීම ම ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හේතුවක් වෙනවා.
                                                                                                                                                                                                           

    වෙනත් ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරය ද මිනිසාට අත්‍යවශ්‍ය  දෙයකි. මීට පෙර මානසික සහනයක් අවශ්‍ය පුද්ගලයා ඒ සඳහා වෛද්‍යවරයෙක් වෙත හෝ අදාළ ස්ථානයකට පැමිණියා. නමුත් අපේ මේ නව වැඩපිළිවෙළ යටතේ අපි එවැනි පුද්ගලයන් සොයා ඔවුන් වෙත ගොස්, ඔවුන්ගේ  පුද්ගලිකත්වයට ද හානියක් නොවන ලෙස අවශ්‍ය  උපදේශනය හෝ ප්‍රතිකාර සඳහා යොමුකිරීම සිදුකරනවා.


    මෙය බිම් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් එදා ගම්වල පරිසරය නෙවෙයි අද ගම්වල තිබෙන්නේ. ගමත් අද විශාල වෙනසකට භාජනය වෙලා. ඒ තුළ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලත් අද සමාජයට භුක්ති විඳින්න සිදුවෙලා. ඒවා අවම කරගැනීමයි අපේ අරමුණ හා ප්‍රමුඛ කාර්ය වී තිබෙන්නේ. ඒනිසයි අපි ජනතාව වෙනුවෙන් සිදුකරන සාම්ප්‍රදායික සේවාවලින් ඔබ්බට ගිය මෙවැනි ප්‍රායෝගික හා ගැඹුරු සේවාවන් ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ."

    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා සහ එදින පුහුණුවට පැමිණි සහකාර උපදේශන නිලධාරීන් පිරිසක් ද එහි දී අදහස් දැක්වූහ.එම අවස්ථාවට අමාත්‍යාංශයේ සියලු ම අංශ නියෝජනය කරමින් නිලධාරීන් පැමිණ සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya