අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කෙරේ

    මැයි 26, 2014

    නව අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන්ට අනුගතවන ලෙස මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම සඳහා වන විශේෂ වැඩමුළුවක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    මීට වසර දහයකට පෙර ඉදිරිපත් කළ මෙම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර ක්‍රියාත්මක සැලසුමක් සකස්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම ද අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විය.එහිදී ඒ සඳහා බලපා ඇති ගැටලු හා බාධා මඟහරවා ගැනීම පිළිබඳව, සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් හා වෙනත් ළමා රැකවරණ ආයතන මගින් වයස අවුරුදු 05ට අඩු ළමයින් සඳහා  සැපයිය යුතු සේවා සම්බන්ධයෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක, මුල් ළමාවිය හා ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ  ජනාධිපති උපදේශක පුජ්‍ය බදගිරියේ සෝමවංශ හිමියන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික කමිටු සමාජිකයන් ඇතුළු මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් ඉදිවෙන මධ්‍යස්ථාන රට තුළ සීග්‍රයෙන් වැඩිවුව ද ඇතැම් මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස සිතා සද්භාවයෙන් හා නිසි ප්‍රමිතියෙන් යුතුව මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ නම් තවත් වසර කිහිපයක් යන්නට පෙර මේ රටේ පුනරුත්ථාපන කඳවුරු, සිරගෙවල් වසා දැමීමට හැකිවන බවත් මෙහිදී අදහස් දැක්වු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා  "ළමුන්ගේ වයසට අනුකූල නොවූ ඉගැන්වීම් සිදුකරන පෙර පාසල් බොහෝමයක් ගැන අමාත්‍යාංශයට වාර්තා වී තිබෙනවා. ළමා මනස විකෘති නොවන ආකාරයට අප අමාත්‍යාංශය මගින් සකස් කර ඇති ගුරු අත් පොතේ විෂය මාලාවක් තිබුණ ද කිසිම වගකීමක් නොමැතිව තමන්ගේ අභිමතයට ඉගැන්වීම්  සිදුකරන පෙරපාසල් තිබෙනවා. පාසලේ පළමු වසරේ කළ යුතු ක්‍රියාකාරකම් පෙර පාසලේ දීම කරන පෙරපාසල් තිබෙනවා. ඒ වගේම පොහොසත් හා දුප්පත් පිරිස සඳහා වෙන වෙනම පෙරපාසල් තිබෙනවා. තවත් ඒවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියා බෝඩ් ගසා තිබෙනවා. නමුත් මේ ස්ථානවල සමහර විට දරුවන්ට  සෙල්ලම් මිදුලක් පවා නැහැ. එය අත්‍යවශ්‍ය අංගයක්.  ඒ නිසා රට පුරාම පිළිගත් ක්‍රමවේදයකට අනුව පෙර පාසල් පවත්වාගෙන යාමට කඩිනමින් ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස්කර ක්‍රියාවට නැංවිය යුතුයි.

    ඒ වගේම ඇතැම් ග්‍රාමීය මට්ටමේ පෙර පාසල්වල ගුරුවරියන් කිසිදු ආර්ථික වාසියක් අපේක්ෂාවෙන් තොරව සද්භාවයෙන් ප්‍රදේශයේ දරුවන්ට තම සේවය ලබාදෙනවා. එය අගය කිරීමට වැඩපිළිවෙළක් සකස්විය යුතුයි. ”ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා, විවිධ අමාත්‍යාංශවල සහ පළාත් සභා නියෝජනය කරමින් පැමිණි මුල් ළමාවිය සංවර්ධන ඒකකවල ප්‍රධානීන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරු ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya