අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුම කළමනාකරණයේ පිළිගත හැකි සම්බන්ධීකරණයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවක්

    මැයි 07, 2014

    උරුම කළමනාකරණයේ විවිධ අංශ ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම සඳහා සියලු දෙනාට පිළිගත හැකි සම්බන්ධීකරණයක් ඇති කිරීම අද කාලීන අවශ්‍යතාවක් වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසීය.


    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු සමුද්‍රාසන්න රටවල කලාපීය සහයෝගීතා සංගමයේ සාමාජික රටවල් 20ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ගල්කිස්ස මහ හෝටලයේ පැවති උරුම කළමනාකරණ වැඩමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.


    මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ, උරුම සම්බන්ධීකාරීත්වය සම්බන්ධ විවිධ ක්‍රමවේදයන් සහ යාන්ත්‍රණයන් පිළිබඳව අවබෝධය බෙදා හදාගැනීමට මෙවැනි වැඩමුළු ඉවහල් වන බවයි. සාමාජික රටවල නියෝජිතයන්ට අදහස් හුවමාරු කරගැනීමට, සාකච්ඡා පැවැත්වීම සහ විශිෂ්ට ප්‍රායෝගික තත්ත්වයන් අවබෝධ කර ගැනීමට මෙවැනි සාකච්ඡා මණ්ඩප මගින් ඉඩ සැලසේ. කලාපීය සහයෝගීතාව අද අවශ්‍ය වන්නේ අනාගත පරම්පරාව උදෙසා අපේ උරුමය ආරක්ෂා කිරීම සඳහායි. එමෙන්ම මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම මගින් එකිනෙකාගේ උරුමයන් පිළිබඳව සහ ඒවායේ වටිනාකම පිළිබඳව අප සැමට මනා අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇති බව තමන් දැඩිව විශ්වාස කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගීත්වයෙන් සංවිධානය කෙරුණු මෙම උරුම කළමනාකරණ වැඩසටහන සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, බංගලාදේශය, තායිලන්තය, කොම්රොස්, කෙන්යාව, මැඩගස්කර්, ඉන්දුනීසියා, ඉරාන්, සී ෂෙල්ස්, මුරුසිය, ටැන්සානියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආදී ඉන්දියානු සමුද්‍රාසන්න රටවල් සහභාගී වූ අතර 05 සහ 06 දෙදින පුරා මෙම සමුළුව පැවැත්විණි.


    මෙම අවස්ථාව සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නන්දා වික්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ඉන්දියානු සමුද්‍රාසන්න රටවල කලාපීය සහයෝගීතා  සංගමයේ ප්‍රධාන ලේකම් කේ.වී. භාගීරාජ්, ආචාර්ය නිලන්ත කුරේ, මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, මහාචාර්ය නිමල් ද සිල්වා, මහාචාර්ය මණ්ඩාවල ඇතුළු විද්වත්හු විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB

    workshop on heritage managemant

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya