අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහත් හරසරින් පොලොන්නරුවේදී

    මැයි 07, 2014
    මෙවර රාජ්‍ය වෙසක් උත්සව රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහත් හරසරින් පොලොන්නරුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ පැවසීය. 
     
     
    ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ  මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ, රාජ්‍ය වෙසක් උත්සවය රටේ විවිධ දුෂ්කර ප්‍රදේශවලට ගෙන ගොස් පැවැත්වීම තුළින් ඒ ඒ ප්‍රදේශවල ආගමික වශයෙන් ප්‍රබෝධයක් ඇති වන බවයි.  
     
    ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 15වන දින ප.ව 2.30ට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව නව නගරයේ පිහිටි පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ, වෙසක් උත්සවයේ මූලික අරමුණ වනුයේ බුද්ධ පූජාව පැවැත්වීම බවයි. රජයේ යුතුකම හා වගකීම වනුයේ බෞද්ධ ශාසනික කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදීම හා අනෙකුත් ආගම්වල වටිනාකම් ආරක්ෂා කිරීම බවද  පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ පැවසීය.
     
     ජාතික වෙසක් උත්සවයට සමඟාමීව බුදුපුත් මා පිය උපහාර වැඩසටහන යටතේ ශාසනයට දරුවන් පූජා කළ අසරණ දෙමාපියන් වෙත රුපියල් ලක්ෂ දෙකක වටිනාකමින් යුතු නිවාස අටක් පරිත්‍යාග කිරීමක් ද සිදු කෙරෙන බව මේ පිළිබඳව අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය. මෙම නිවාසවලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් 10,000ක මුදලක් ද නිවාස හිමිකරුවන් වෙත එදින ලබාදීමට නියමිත වේ. එමෙන් ම පසුගිය වසරවල පැවති රාජ්‍ය වෙසක් උත්සව ආදර්ශයට ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ඉතාමත් ම වර්ණවත් ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා තවදුරටත් පැවසීය. මෙම නිවාස ලබාදීමේ වැඩසටහන සඳහා කැමැත්තක් දක්වන අය  සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වෙත මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව හිමි වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පැවසීය. මෙවර වෙසක් සතිය මේ මස 11 වන දින සිට 17 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
     
    මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උප ලේඛකාධිකාරී, පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල ස්වාමීන් වහන්සේ පැවසුවේ, රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව මැදිරිගිරිය වටදාගේ අභියසදී  සහ ඇළහැරදී කුල දරුවන් 57 දෙනෙකු පැවිදිබිමට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.  රාජ්‍ය වෙසක් උත්සවයකට සමඟාමීව මෙවැනි ක්‍රියාදාමයක් සිදු කෙරෙනුයේ ප්‍රථම වරට බව ද පූජ්‍ය කදුරුවෙල ධම්මපාල ස්වාමීන් වහන්සේ තවදුරටත් පැවසූහ.
     
    මෙම අවස්ථාවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක යන මහත්වරු සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya