අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු ගහණය පාලනයට න්‍යෂ්ටික විකිරණ Featured

    මැයි 07, 2014

    ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරු ගහණය පාලනය කොට ඩෙංගු රෝගය සහමුලින්ම තුරන්කිරීම සඳහා න්‍යෂ්ටික විකිරණ භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.


    පසුගිය වසර 05 තුළදී වසරකට ඩෙංගු අසාදිතයන් 25,000ත් 44,500ත් අතර ප්‍රමාණයක් වාර්තා වූ බවට සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන අතර ඩෙංගු මරණ සංඛ්‍යාව පසුගිය වසර දෙකේදී ඉහළ මට්ටමක පැවතියද වර්තමානයේදී එය යම් දුරකට අවම කරගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකිවී ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

     

    එහෙත් මැලේරියා වසංගතය තුරන්කළා සේ ම ඩෙංගු වසංගතය රටෙන් තුරන් කිරීමට අප අපොහොසත් වී තිබේ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය මඟින් සිදු කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරු ගහණය පාලනය කොට ඩෙංගු රෝගය සහමුලින්ම තුරන්කිරීම සඳහා න්‍යෂ්ටික විකිරණ භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කර ඇතැයි ද ඔහු කීය.

     

    එම නියමු ව්‍යාපෘතියේ සමාරම්භක සැසිය ඊයේ (06) පෙරවරුවේ අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේදී (ITI) පැවැත්විණි. අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ සාමාජිකත්වය සහිත රටවල් 10ක විශේෂඥ කණ්ඩායමක් මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතියේ සමාරම්භක සැසිය ආරම්භ කෙරුණි.

     

    සමුළුව ඇමතූ චම්පික රණවක මහතා, රටේ ඩෙංගු පාලනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. ජීව විද්‍යාත්මක විධික්‍රම, රසායනික ද්‍රව්‍ය භාවිතය, විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ඩෙංගු සහමුලින්ම තුරන් කිරීමට හැකි වී නැහැ. ඒ සඳහා න්‍යෂ්ටික විකිරණ භාවිතය හෙවත් "ස්ටෙරයිල් ඉන්සෙක්ට් තාක්ෂණය" භාවිතයෙන් ඩෙංගු මදුරුවාගේ ගහණය පාලනය කිරීමට මෙම නියමු ව්‍යාපෘතියෙන් කටයුතු කෙරේ. විශේෂයෙන්ම පිරිමි මදුරුවා විකිරණ ආශ්‍රයෙන් වඳභාවයට පත්කර ඊළඟ පරම්පරා බිහිනොවීමට කටයුතු කිරීම මෙමඟින් සිදු කෙරේ. ස්විට්සර්ලන්තය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, මැලේසියාව, ටොබැගෝ, චීනය, තායිලන්තය, පකිස්තානයේ සහභාගීත්වයෙන් 2017 වසර දක්වා ශ්‍රී ලංකාවේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත. නියමු බලකාය ලෙස දේශීය විදේශීය නියෝජිතයන් 45 දෙනෙක් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

     

    ආරම්භක සැසියට සහභාගී වූ අන්තර්ජාතික පරමාණු ඒජන්සියේ විශේෂඥ තාක්ෂණික නිලධාරී ආචාර්ය ජෙරම් ගිල්ස් අවධාරණය කර සිටියේ, ලෝකයේ මිනිසුන්; මිනිසුන් හා ගැටීමෙන් මිය යනවාට වඩා ඉතා ඉහළ ප්‍රමාණයක් මදුරු දෂ්ඨන හා ඒ ආශ්‍රිත රෝගවලින් මියයන බවයි. පසුගිය වසරේ මිනිස් මිනිස් ගැටුම්වලින් ලෝකයේ මියගිය ප්‍රමාණය 475,000ක් වුවද මදුරු ආශ්‍රිත රෝගවලින් මියගිය ප්‍රමාණය 750,000 ඉක්මවා ඇති බව ගිල්ස් මහතා පෙන්වා දෙයි. ලෝක බලධාරීන්ගේ මෙන්ම සෞඛ්‍ය අංශවලද වැඩි අවධානය ඒ සඳහා යොමුවීම අත්‍යවශ්‍ය බව හෙතෙම අවධාරණය කරයි. එවන් වකවානුවක රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මෙවන් ව්‍යාපෘතියක් සිදු කිරීමට තම ආයතනයට ඇරයුම් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියත් කටයුතු කිරීම තමන් අගයන බවද ඔහු සඳහන් කළේය.

     

    මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතයන්, කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලවල මෙන්ම මූලික අධ්‍යයන ආයතනයේ (IFS) ශිෂ්‍යයන්, ඩෙංගු මර්දන ආයතනයේ හා බරවා මර්දන ව්‍යාපෘතියේ කීට විද්‍යාඥයන් සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරියේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂඥවරු ද සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya