අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සම්පත් විකුණමින් සීග්‍ර ආර්ථීක වර්ධනයක් කළ හැකි නමුත් ඒ සියල්ල තාවකාලිකයි

    මැයි 05, 2014

    මෙරට අධ්‍යාපනය තුළ ගණිතය විෂය සඳහා ළමුන්ගේ තිබෙන උනන්දුව තරමක් අඩු මට්ටමක පවතින බවත් රට තුළ උසස් පෙළ ගණිතය විෂය ඉගැන්වීම සඳහා සිටින්නේ 800ක පමණ ගුරුවරුන් පිරිසක් බවද අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

    රට තුළ 8,000ක් පමණ පාසල් පවතින අතර, එයින් 340ක් පමණ ප්‍රධාන පෙළේ පාසල්ය. මේ සියලුම පාසල් තුළ ගුරුවරුන් 250,000ක් පමණ සේවය කරන අතර, උසස් පෙළ ගණිතය විෂය සඳහා සිටින්නේ ඉතා සීමිත ගුරුවරුන් පිරිසක් බවත් මේ සීමිත පිරිස අතරෙහිද ගණිතය පිළිබඳ පරිසමාප්ත දැනුමක් සහිත අය ඇත්තේ අතළොස්සක් බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය  02 වැනිදා ජාතික විද්‍යා පදනම් ශ්‍රවණාගාරයේ පැවති "යොවුන් විදු නියමුවෝ" නිල ආරම්භක උත්සවය අමතමිනි.

    රටින් රටට, දේශයෙන් දේශයට වෙනස් නොවන සම්මුතියක් ලෙස ගණිතය විෂය සකස් වී තිබේ. ගණිතයේ දක්ෂතා දක්වන අයට අනෙක් විෂයන් තුළද වැඩි තරගකාරීත්වයක් කළ හැකිය. ඊශ්‍රයාලය වැනි රටවල අධ්‍යාපනය තුළ දක්ෂයන් බිහිකිරීම සඳහා ගණිතය, භෞතික විද්‍යාව හා දර්ශනය යන විෂයන් ප්‍රධාන කොට ගනී. මෙම විෂයන් පිළිබඳව නිර්මාණශීලී චින්තනය තුළින්, ඉහළ දක්ෂතා තුළින්  නව පරපුරක් බිහිකිරීමට පදනම සකස් කරගත හැකිය. අපේ රට විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගෙනයන්න අද වනවිට උනන්දුවක් ඇති වී තිබේ. පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව මේ සඳහා උපකාරී වන අතර ගණිතයේ හැකියාව ප්‍රධාන ලෙසම ආර්ථීකයේ වර්ධනය සඳහා යොදාගත යුතු බව අමාත්‍ය චම්පික රණවක පෙන්වා දුන්නේය.

    ලැප්ටොප් පරිගණක නිෂ්පාදනයේ මුල් අවධියේදී ගැටලු ගණනාවක් මතු වූ අතර, ඉන් ප්‍රධාන ගැටලුවක් වූයේ පරිගණක පරිහරණයේදී අධික ලෙස රත්වීමයි. මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස Intel ආයතනය ඊශ්‍රයාලයේ සහය පැතීය. වයස් භේදයකින් තොරව දරුවන්ගේ විදු නියමු කණ්ඩායම් ඊශ්‍රායලයේ ක්‍රියාත්මක අතර මෙම ගැටලුවට විසඳුමක් ලෙස ගියර් ඩ්රයිව් තාක්ෂණය නිර්මාණය කරනු ලැබූයේ මෙම විදු නියමු කණ්ඩායමක දරුවෙකු විසිනි. සූර්ය කෝෂ, බැටරිවලින් දුවන වාහනවල ආරම්භය සනිටුහන් වූයේද මෙම විදු නියමු කණ්ඩායම්වලින් බවත්, ලොව ප්‍රකට විද්‍යාඥයින්ගෙන් පමණක් නො ව විදු නියමු කණ්ඩායම්වල දරුවන්ගේ නිර්මාණශීලීත්වය තුළින් වටිනා නිර්මාණ බිහිවී තිඛෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වර්තමානයේ යම් යම් පැතිවලින් අපේ රට එකතැන පල් වෙමින් තිබෙන අතර, රට ඉදිරියට ගෙනයෑමට නම් නවෝත්පාදන ආර්ථීකයක් අත්‍යවශ්‍ය වේ. රටේ සම්පත් විකුණා නිදහස් වෙළෙඳ කළාප ඇති කරමින් හෝටල් නිර්මාණය කරමින් කැසිනෝ වැනි සූදු තුළින් විදේශ ආයෝජන ලබාගෙන මෙරට ආර්ථීකයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කළ හැකි වුවද එය තිරසර නොවන තාවකාලික දෙයක් බවත්, මෙරට තිරසර ඉදිරි පැවැත්ම සඳහා නව නිර්මාණ බිහිකිරීම තුළින් නව වෙළෙඳපොළ ජය ගැනීමෙන්, නව උත්පාදන ආර්ථීකයක් සඳහා පෙරමඟ සකස් කිරීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.  

    නිර්මාණශීලී නව පරපුරක් බිහිකරමින් නව ආර්ථීකයක් ගොඩනැගීම සඳහා "යොවුන් විදු නියමුවෝ" ක්‍රියාත්මක කරන බවත්, ලෝකයේ පසුගිය කාලය තුළ සාර්ථකත්වයට පත්වූ සෑම රටක්ම සාර්ථකත්වයට පත්වූයේ ගණිතය, භෞතික විද්‍යාව හා දර්ශනය මෙන්ම අනෙකුත් විද්‍යා විෂයන් පිළිබද කාර්යයන්වලදී ශක්තිමත් තත්ත්වයක් ළඟාකරගැනීම සඳහා විදු නියමුවන්ගෙන් ලැබුණු දායකත්වය නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගණිතයේ නිර්මාපකයා ආසියාවේ අප බවත් වෙනත් විෂයන් හදාරන අතරම ගණිතය, භෞතික විද්‍යාව හා දර්ශනය මෙන්ම අනෙකුත් විද්‍යා විෂයන් තුළින් ඔබේ කුසලතාව රටට ඵලදායක කිරීමට කටයුතු කරන ලෙසද, අපේ උගත් පරපුර රට තුළ හිඳිමින් රටේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරමින් අද මේ පුංචි පිරිසකගෙන් ආරම්භ කරන "යොවුන් විදු නියමුවෝ" අනාගතයේදී රටේ ආර්ථීකය බබලවන, වර්ධනය කරන, රට ගොඩනගන යෝධ බලකායක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

    විදු නියමුවන් 10,000ක් බිහිකිරීමේ යෝධ කාර්යයේ පළමු පියවර "යොවුන් විදු නියමුවෝ" නමින්, 2013 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වන ලද ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පාසල්වලින් තෝරාගත් සිසු සිසුවියන් 25 දෙනෙකුගෙන් ආරම්භ වූ අතර එහිදී යොවුන් විදු නියමුවන්ගේ විද්‍යාත්මක දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගැනීම පිණිස දායකවන දේශන, ප්‍රායෝගික කටයුතු මෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සිදු කෙරෙන කාර්යයන් පිළිබඳව අත්දැකීම ලබාදීම යනාදිය ඇතුළත්ව මාස 04 ක පමණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. වැඩසටහන අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබාදෙමින් රට තුළ විදු නියමුවන් 10,000ක් බිහිකිරීමට ඔවුන් දායක කරගනු ලැබේ. ජාතික විද්‍යා පදනමෙහි ලියාපදිංචි පාඨශාලීය විද්‍යා සමාජ 741ක් මුල් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙම අවස්ථාවට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශයේ අධ්‍යක්ෂක චිත්තානන්ද බියන්විල මහතා සහ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල ගණිත ගුරුවරුන් මෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද සහභාගී වූහ.                           

    HC/R&D

    yovun vidu niyamuwo 1

    yovun vidu niyamuwo 2

    yovun vidu niyamuwo 3

    yovun vidu niyamuwo 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya