23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ග්ලාස්ගෝහිදී ඇරඹෙයි

23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ග්ලාස්ගෝහිදී ඇරඹෙයි
  • SocialShare:

23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (Glasgow 2026 Commonwealth Games) ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී නිල වශයෙන් ආරම්භ විය.

දින 11ක් පුරා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් හා භූමි ප්‍රදේශ 74කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට අධික පිරිසක් සහභාගි වන අතර, ක්‍රීඩා ඉසව් 10ක් සහ පැරා ක්‍රීඩා ඉසව් 6ක් යටතේ තරග පැවැත්වේ.

සමාරම්භක උත්සවය ග්ලාස්ගෝහි The Hydro ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින එය නිල වශයෙන් විවෘත කළහ.

මෙවර ක්‍රීඩා උළෙල සීමිත වියදම් ආකෘතියක් යටතේ සංවිධානය කර ඇති අතර, 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සාපේක්ෂව ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරග ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක පමණ සීමාවක් තුළ පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4කදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, 2014 වසරෙන් පසු ස්කොට්ලන්තය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සඳහා සත්කාරකත්වය දරන දෙවැනි අවස්ථාව මෙය වේ. මෙම තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු මෙවර තරගාවලියට එක්වන අතර ඔවුන් ක්‍රීඩා ඉසව් 7කදී තරග වැදීමට නියමිතය.