දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත්

    දෙසැම්බර් 12, 2024

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය ඉදිරියටත් ලබාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ හවුල්කාරීත්වය යට‌තේ මෙරට ක්‍රියාත්මක වන හා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමේ අරමුණින් පැවැති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළේය.

    ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු වන සෞඛ්‍ය විශේෂඥ Dai-Ling Chen මහතා ඇතුලු නියොජිතයින් පිරිසක් සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

    මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ අමතර මූල්‍යකරණය, ආහාර සහ පෝෂණය පිළිබඳ ව්‍යාපෘතිය, සියලු සෞඛ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල්කරණය කරා ගෙනයාමේ ව්‍යාපෘතියක ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
    එමෙන්ම මෙරට ප්‍රාථමික, ද්විතියික සහ තෘතීයික සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම, වැඩිහිටි ජනතාවට සපයන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම, බෝනොවන රෝග පාලනය හා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, මානව හ‍ා භෞතික සම්පත් සංවර්ධනය හා නිසි කළමනාකරණය, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වා ගනිමින් තිරසාර ඉලක්ක වෙත ගමන් කිරීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මෙහිදී දීර්ඝව කරුණු සොයා බලනු ලැබීය.

    1966 වසරේ සිට මේ දක්වා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි. ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඉදිරියටත් අපේක්ෂා කරන බවත්, එමගින් මෙරට ජනතාව අතර ව්‍යාප්ත වන බෝවන සහ බෝනොවන රෝග පාලනය කරමින් අපේක්ෂිත ඉළක්ක කරා ලගා විය හැකි බවද ඒ මහතා පැවසීය.

    වසර ගණනාවක් තිස්සේ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බව පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු වන සෞඛ්‍ය විශේෂඥ Dai-Ling Chen මහතා මෙරට සෞඛ්‍ය සේවාවේ වර්තමානයේ පවතින ව්‍යුහාත්මක බාධා ඉවත් කිරීම සඳහා සහයෝගය ලබාදීමටත්, අනාගත සැලසුම් සඳහා ශ්‍රී ලංකා රජය, අනෙකුත් පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධ වී තම ව්‍යාපෘති සහ සේවා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, ඡ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කුමාරි නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya