දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු හෙටින් අවසන්

    නොවැම්බර් 10, 2024

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බව පැවසූ ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා 12, 13 හා 14 යන දිනවල කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

    මෙම දින කිහිපය තුළ ජනමාධ්‍ය මගින් හෝ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් ගෙවා හෝ කිසිදු ප්‍රචාරණ දැන්වීමක් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් පැවසුවේය.

    මේ වන විට දේශපාලන පක්ෂ පිහිටුවා ඇති එක් එක් ඡන්ද කොට්ඨාසය සඳහා අදාළ වන කාර්යාල සියල්ලම 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගැනීමට අවශ්‍ය බවද එම කාර්යාල අදාළ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉවත් කරගත නොගත හොත් පොලීසිය මගින් ඒවා ඉවත් කිරීමට උපදෙස් ලබාදී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

    සභාපතිවරයා ප්‍රකාශ කළේ 13 වනදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය හැක්කේ මැතිවරණ කොට්ඨාසය සඳහා අදාළ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් එක් මධ්‍ය මැතිවරණ කාර්යාලයක් පමණක් බවයි.

    ඕනෑම අපේක්ෂකයෙක් වෙනුවෙන් අදාළ මැතිවරණ කොට්ඨාසය සඳහා එක් කාර්යාලයක් සහ අපේක්ෂකයාගේ නිවස කාර්යාලය හැටියට භාවිතා කිරීමට හැකියාව පවතින බවද ඒ මහතා පැවසුවේය.

    එහෙත් මේ කිසිවක ප්‍රචාරණ කටයුත්තක් හෝ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයට කිසිදු සැරසිල්ලක් තබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුලත කාර්යාලයක් පිහිටුවා ඇතිනම් එම කාර්යාලය 14 වනදා ඡන්ද විමසීම් දිනයේදී ඉවත් කර ගැනීම අවශ්‍ය බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය.

    මෙම කලාපය තුළ අපේක්ෂකයෙකුගේ නිවස පිහිටා ඇතිනම් එම නිවසේ කිසිදු සැරසිල්ලක් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya