මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට රැකියාවන් සඳහා විදෙස්ගත වන පිරිස වලංගු ගිවිසුමක් මත රැකියා සඳහා යා යුතුයි - ඇමති අලි සබ්රි

    මැයි 08, 2024

    විවෘත වීසා හෝ සංචාරක වීසා මත විදේශ රැකියාවන්ට නොගොස් වලංගු ගිවිසුමක් මත නිත්‍යානුකූල ක්‍රමවේදය යටතේ විදේශ රැකියාවන් සඳහා යා යුතු බවත් එසේ නොමැතිව ගොස් අමාරුවේ නොවැටෙන ලෙස මෙරට තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත බවද හෙතෙම පෙන්වා දුන්නේය.



    රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    විදේශ රැකියාවට ගිය පසුව එරට ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචිව එරට තානාපතිවරයා සමඟ සාකච්ඡා කර සම්බන්ධතා පවත්වා ගැනීම ද වැදගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    මියන්මාරයේ මියාආඩි නම් වූ ප්‍රදේශයේ මෙරට තරුණ තරුණියන් පිරිසක් සිරව සිටින අතර කණ්ඩායම් තුනක් පමණ බේරා ගත් බවත් තවත් 49 ක් මුදා ගැනීමට සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.
    එරට රජය, විදේශ ඇමැතිවරයා සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතවත්, වාචිකවත් ජනාධිපතිවරයා සහ මම සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 20 ක් පමණ බේරා ගැනීමට හැකි වූ අතර එම පුද්ගලයන් තායිලන්තයේ බෝඩර් එකට ගෙනැවිත් ඒ හරහා මෙරටට ගෙන්වා ගත් බවත් ඇමැතිවරයා කීය.
    මියන්මාරයේ මියාආඩි ප්‍රදේශය එරට රාජ්‍යයේ පාලනයෙන් බැහැරව පවතින නිසා එරට රජයට වුවත් මේ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වීමට හැකි වනුයේ සීමා සහිත ප්‍රමාණයකට බවත් එසේ වුවද මෙම මුදා ගැනීම මෙරට රජය නවතා නොමැති අතර කෙසේ හෝ මේ තරුණ පිරිස මුදා ගැනීමට රජය පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya