මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය සහිත හෝටල් පරිශ්‍රයක් වෙයි

    මැයි 05, 2024

    බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි.

    එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කියයි.

    යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.

    මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ය. 2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොදින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.

    බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන බව අධ්‍යක්ෂකවරයා කියයි.මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන තිබේ.ඊට අදාල ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බවද අධ්‍යක්ෂකවරයා කියයි.

    බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක් ක්‍රියාත්මක විය.2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගියහ. බෝගම්බර බන්ධනාගාරය දැනට මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘතය.

    බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීමට පෙරාතුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූයේ හැන්ග්මන්ස් හිල් (Hangmans Hill) නම් වර්තමාන මහනුවර මධ්‍යම වෙළදපොළට ඉදිරියේ පිහිටි කදු ගැටයකයි.ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහයද ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය විය.නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණින් බෝගම්බර වැව ගොඩ කරමින් පෝරකයක් ද සහිතව ඉංග්‍රීසීන් විසින් මෙම බන්ධනාගාරය ඉදි කරන ලද්දේ වර්ෂ 1876 දී යි. ඒ රජයේ වැඩ දෙපාර්තමේන්තුව හරහා එවක ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් වූ එන්.ආර් සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේයි. රුපියල් ලක්ෂ 4 ක මූල්‍ය පිරිවැයක් දරා සිරකරුවන් 92 ක ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම බන්ධනාගාරය ඉදි කර තිබේ.


    මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙක අතුරින් එකක් වන්නේද බෝගම්බර බන්ධනාගාරයයි.විශාලත්වය සහ ආරක්ෂාකාරී බව අතුරෙන් ලංකාවේ දෙවන ස්ථානය හිමි වන බෝගම්බර බන්ධනාගාරය තුළ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකිව තිබුණි. අක්කර 13 ක් පුරා විහිදුණු මෙය එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්න ආකෘතියට ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමානව ඉදි කරන ලද්දකි.එහි දිග අඩි 556 කි, පළල අඩි 144 කි, උස අඩි 102 කි. ඝණ අඩි 1080 කින් යුක්ත (10×12×9) සිරකරුවන් 408 ක් සදහා ප්‍රමාණවත් වන පරිදි සිරමැදිරි 328 කින් එය සමන්විත වෙයි. වැදගත් ගෘහ නිර්මාණ ශිල්පයක් ඇති බෝගම්බර බන්ධනාගාරය කිසිදු තැනකින් වෙන් නොවුණු එකම තනි පාදමක් මත ඉදි වි ඇති ආසියාවේ දිග ම ගොඩනැගිල්ලයි. 1876 වර්ෂයේ සිට 1975 දක්වා වැරදිකරුවන් 524 දෙනෙකු මෙහිදී මරණීය දණ්ඩනයට ලක්ව තිබේ.1975 නොවැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ රටම කැළඹූ තිස්මඩ මිනීමැරුමේ වරදකරුවන් වූ ඩබ්.ජී රිචඩ් සහ ටී.එම් ජයවර්ධන යන වැරදිකරැවන් දෙදෙනා එල්ලා මැරීමෙන් අනතුරුව යලි කිසි දිනෙක බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඩුවම ක්‍රියාත්මක වී නොමැත.

    ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වීමෙන් අනතුරුව ඇගේ මල සිරුර ගොඩගත් ස්ථානය ඇත්තේ ද මෙම බන්ධනාගාර පරිශ්‍රය තුළයි. එමෙන් ම උතුවන්කන්දේ සරදියෙල්, මරු සිරා යන පුද්ගලයන් ද කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන ප්‍රසිද්ධ පුද්ගලයන් ද මෙහි සිරගතව සිටියහ.

    බන්ධනාගාරයක් වශයෙන් ක්‍රියාත්මක වන කාලයේදී විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය, බ්ලොක් ගල් නිෂ්පාදනය, මල් වගාව, සබන් හා පොල් තෙල් ව්‍යාපෘතිය ආදී කර්මාන්තයන් ද එවකට බන්ධනාගාර සුබසාධක අංශය මගින් මෙහි ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya