මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වූ වහා අරඹනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 22, 2024

    විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වූ වහා නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ 2024 වසරේදී මාර්ග කි.මී. 1,500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන කොස්ගම දාතුරුගොඩ පාර, තවල්ගොඩ දක්වා මාර්ගයේ සහ ඇස්වත්ත උතුර හද්දුව ජනපද මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    “නිදහසින් පසු අප රටේ කුමන ජනාධිපතිවරයකු බලයට පත් වුවත්, කවර රජයක් ආණ්ඩු කළත් සියලු යටිතල පහසුකම් සඳහා වන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් ණය ගැනීමෙන්; දුම්රිය, බස්, ගුවන්යානා, යුද උපකරණ ආදි මේ සියල්ලක් ගෙන ඇත්තේ ණය මඟින්. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදියෙන් සහන පොලියට ණය ගත්තත් ඒවාත් ප්‍රමාණවත් නොවූ නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගිනි පොලියට ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර ණය ගෙන තිබෙනවා. එලෙස ගත් ණය වාරික සහ පොලිය ගෙවීම රටට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත් වුණා.

    “ණය තිරසර භාවයක් නැති වන විට ජාත්‍යන්තර ණය හිමියන්ට මඟ පෙන්වන පිච් රේටින්, මෝඩි වැනි ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇදදැමුවා. එවිට ශ්‍රී ලංකාවේ බැංකුවල ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. ඒ හේතුවෙන් රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ආදි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට නොහැකි වුණා. මේ ආර්ථික ව්‍යසනය තුළ අරගලකරුවන් සහ අන්තවාදීන් රට ගිනි තබා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කර, පාර්ලිමේන්තුව ගිනිබත් කර, ප්‍රජාතන්ත්‍රවාදය වළදැමීමට කටයුතු කළා. ඒ තත්ත්වය මත කිසිවකුත් රට භාර ගැනීමට ඉදිරිපත් නොවන අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තා. ඔහු ලෝකයේ සියලු රටවල් සමඟ සාකච්ඡා රැසක් සිදු කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය ගිවිසුමක් අත්සන් කර රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමට ක්‍රියාන්විතයක් ආරම්භ කළා. එය තවමත් අවසන් වී නැහැ. දැනට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට අලුතින් විදේශීය ණය ආධාර ලැබෙන්නේ නැහැ. එනිසා ආරම්භ කළ සියලු සංවර්ධන ව්‍යාපෘතිද මේ වන විට ඇනහිට තිබෙනවා.

    “අද මෙලෙස ආරම්භ කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේද 2024 අයවැය මඟන් අපගේ අමාත්‍යංශයට වෙන් කළ මුදලින්. එලෙස වෙන් කරන්නේත් දේශීයව ගත් ණය මුදල්. දේශපාලනඥයන්ගේ නොදැනුවත්කම නිසා හෝ කපටිකම නිසා හෝ ගමින් ගමට ගොස් බොරු ප්‍රලාප දෙඩවිය හැකියි. ආණ්ඩුවක් ලෙස ඕනෑම වියදමක් දරනවා නම් ඒ සඳහා මුදල් සපයාගන්නේ බදු පනවා හෝ ණය ගෙන හෝ රජය සතු දේපළ විකිණීමෙන් පමණයි. මේ ඇත්ත අපහසුකම් සහ ප්‍රශ්නයේ බරපතළකම රටේ ජනතාවට වටහා දිය යුතුයි.

    “ඔබ විසින් මේ වන විටත් ඉල්ලා සිටින අතරමඟ නතර වී ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති ඇරඹිය හැකි දිනයක් නුදුරේම උදා වනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ජාත්‍යන්තරය සමඟ අවසාන අදියරට පැමිණ ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ වහා නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව කිව යුතුයි. ලැබුවා වූ අලුත් අවුරුද්ද රටට, ඔබට සුබ වන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය මතයි.”

    මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ රුවන් දර්ශන මහතා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ, සීතාවක ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණගේ මහත්වරුන්, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya