මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන පුහුණු පාසල ශිෂ්‍ය භටයින්ගේ අයිතියට

    අප්‍රේල් 09, 2024

    මුලතිව් ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද ජාතික ශිෂ්‍යභට බලකයේ දෙවන පුහුණු මධ්‍යස්ථානය නිළ වශයෙන් විවෘත කිරීමේ උත්සවය පසුගියදා (07) මහා සංඝරත්නය ඇතුළු හින්දු, මුස්ලිම් සහ කිතුනු ආගමික පුජක තුමන්ලාගේ ආශීර්වාදය මධ්‍යයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය.

    අප මාතෘභූමියට අවශ්‍ය කරන ලෝකය හා තරඟ කල හැකි සකලවිධ කුසලතාවයන්ගෙන් හෙබි තීක්‍ෂණයෙන් යුත් තරුණයන් අප රට තුලින්ම බිහිකර ගැනීම වෙනුවෙන්, මෙම භූමිය තුලින් ජීවිතයේ මූලික හැඩය ලබාගන්නා ශිෂ්‍යභටයා ආකර්ෂණීය පෞරුෂයකින්, සමබර චින්තනයකින් යුතු තම මාතෘ භූමියට පණ මෙන් ආදරය කරන අගනා මානව සම්පතක් බවට පත්වනු දැකීම මෙම පරිශ්‍රමයට දායක වූ අතිමහත් කැපකිරීම් කල සියළු දෙනාගේ චේතනාව බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  තෙන්නකෝන් මැතිතුමා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කරන ලදි.

    රටක අනාගතය වන ශිෂ්‍ය ප්‍රජාව ආත්ම විශ්වාශයෙන් හා ස්වයං විනයෙන් පරිපෝෂිත නායකත්ව ගුණාංග වර්ධනය කරමින් වික්‍රමාන්විත හා වගකීම් දැරිය හැකි ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ මානව හිතවාදී නිරෝගිමත් දරු පරපුරක් රටට බිහිකිරීම අරමුණු කරගෙන සියවස් එකහමාරකට ආසන්න ප්‍රෞඩ ස්වර්ණමය ඉතිහාසයක් ඇති ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ ගරු ජනාධිපති තුමන් විසින් පසුගිය වසරේදී ප්‍රධානය කරන ලදි.

    ජාතික ශිෂ්‍යභට බලකායේ තිබූ එකම පුහුණු පාසල වන රන්ටැඹේ ජාතික ශිෂ්‍ය බලකා පුහුණු පාසලට අමතරව මෙම පුහුණු  මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමගම, දිවයිනේ සෑම ජාතික පාසලකම ශිෂ්‍යභට ඛණ්ඩයක් නිර්මාණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පය තුලින් අනාගත පරපුර නායකයින් ලෙස පුහුණු කිරීමටත් රටේ උතුරු-නැගෙනහිර සහ දකුණ අතර සංහිඳියාවේ රාමුව තුළ සමගිය සහ සහජීවනය ගොඩනැගීමටත් හැකිවනු ඇති බව තෙන්නකෝන් මැතිතුමා අවධාරණය කරන ලදි.

    සරඹ තුළින් විනය සංවර්ධනය යන සංකල්පය අනුව ජාතික ශිෂ්‍යභට බළකාය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් නව පනතක් හඳුන්වා දිමට මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන අතර, පවතින විෂය මාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව ද මෙම උත්සවයේ දී අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මේ අතර, උතුරු  ප්‍රදේශයේ ජාතික මට්ටමට සුදුසුකම් ලබා ඇති ශිෂ්‍යභටයින් වෙත සහතික පිරිනැමීම හා උතුරු ප්‍රදේශයේ අභිනවයෙන් ආරම්භ කරන ලද ජාතික ශිෂ්‍යභට ඛණ්ඩවල පාසල් හි විදුහල්පති වරුන් වෙත ශිෂ්‍යභට බලපත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍ය වරයා විසින් සිදුකරන ලදි.

    මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ‌‌ෆොන්සේකා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ෆැක්ට්‍රික් ඩි රංජන් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජෝන් ක්වින්ටස් යන මහත්වරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,  ත්‍රිවිධ හමුදා  ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවරුන් හා ශිෂ්‍යභඨ බාලක බාලිකාවන් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya