මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුන්හිඳ ඔඩිසි – කැලිප්සෝ විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමට ලැබීම ජයග්‍රහණයක් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 08, 2024

    කොටුව-බදුල්ල දුම්රිය ධාවනයට එක් කර සිය වසරක් සපිරෙන අවස්ථාවේ ‘දුන්හිඳ ඔඩිසි’ නව සුඛෝපභෝගි දුම්රිය සහ සංචාරක ආකර්ෂණය දිනාගත් නැරඹුම් මැදිරි සහිත ලීවලින් සකස් කළ ‘කැලිප්සෝ’ සංචාරක දුම්රිය ධාවනයට එක් කිරීමට ලැබීම ජයග්‍රහණයක් බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ඔහු මේ බව ප්‍රකාශ කළේ දුන්හිඳ ඔඩිසි සහ කැලිප්සෝ දුම්රිය ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක් වෙමින්, බදුල්ල දුම්රිය ස්ථානයේදී පැවති හමුවකට එක් වෙමිනි.
    බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සිය වසක් සපිරීම නිමිත්තෙන් ඌව පළාත් සංචාරක මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද විශේෂ සමරු උත්සවය සහ සංස්කෘතික වැඩසටහන ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දුම්රිය ස්ථානයේදී පැවැත්විණි. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන ලද ‘දුන්හිඳ ඔඩිසි’ දුම්රිය සහ සියවස් සමරු උත්සවය වෙනුවෙන් විශේෂයෙන් ධාවනය කරන ලද ‘වයිස්රෝයි’ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව සමරු උත්සවය ආරම්භ විය. වැඩසටහනට සමගාමීව සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන්ම ආරම්භ කරන ලද ‘කැලිප්සෝ’ විශේෂ සංචාරක දුම්රියේ මංගල ගමන් වාරයද බදුල්ල සිට දෙමෝදර දක්වා සිදු කෙරිණි.
    බදුල්ල දුම්රිය ස්ථානයේදී පැවති සමරු උත්සවයේදී තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ‘බදුල්ල දුම්රිය මඟ සියවස’ විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ සහභාගිත්වයෙන් එළිදැක්වීමද සිදු විය. රු. 25ක වටිනාකමකින් යුතු මේ මුද්දරය ඉසුරු චතුරංග මහතා විසින් නිර්මාණය කර තිබේ. බදුලු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් සාරංගි රත්නායක විසින් රචනා කරන ලද ‘ආරුක්කු අන්දරය’ කෘතියද මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ අරාධිතයන් වෙත පිරිනැමීම සිදු විය. උඩරට පහතරට සංස්කෘතිකාංග ඇතුළු ප්‍රාසංගික අංග රැසකින්ද සමරු උත්සවය වර්ණවත් විය.


    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,


    “අද ඌව පළාතටත් බදුල්ල දිස්ත්‍රික්කයටත් ඓතිහාසික දවසක්. ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් මීට වසර සියයකට ප්‍රථම බදුල්ලට දුම්රියක් ධාවනය කෙරුණා. ඊට අවුරුදු සීයකට පසුව අපට පුළුවන්කම ලැබුණා සාම්ප්‍රදායික වහල සහිත දුම්රිය වෙනුවට වහලක් නැති නැරඹුම් මැදිරි සහිත විශේෂ සංචාරක ආකර්ෂණයක් සහිත දේශීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ සංචාරක දුම්රියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට බදුල්ල දුම්රිය මාර්ගයේ සංචාරය කරවන්නට.
    “1915 කන්ද උඩරට ගිවිසුමෙන් අපේ රට බ්‍රිතාන්‍යයන්ට අයත් වීමෙන් පසු වතු වගාව ආරම්භ කිරීමෙන් අනතුරුව ඔවුන් මේ පළාත කෝපි වගාවට භාවිත කළා. වගා කරපු කෝපි කොළඹ වරායට රැගෙන යෑම කළේ කරත්තවලින්. බදුල්ලේ සිට කරත්තයක් කොළඹට යෑමට සතියක් ගත වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. මේ දුෂ්කරතාවට විසඳුමක් ලෙස බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඇති කළා. අවුරුදු සීයක් ඇතුළත රටේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මාර්ග පුළුල් වුණා. ඒත් ලංකා ආණ්ඩුව දුම්රිය සේවය පවත්වාගෙන ගියේ සේවයක් වශයෙන්. දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වන පරිදි ගාස්තු නියම නොකළ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ අලාභ ලැබුවා. එදිනෙදා වියදම් පියවාගන්නවත් ප්‍රමාණවත් ආදායමක් ලැබුවේ නැහැ. තවදුරටත් දෙන සහනවලට අතිරේකව සෑම දුම්රිය ගමනක්ම සැලසුම් කර තිබුණේ පිරිවැය පිරිසිදු කරන ආකාරයට නොවෙයි. ඒ නිසා බ්‍රිතාන්‍ය යුගයෙන් පසු දුම්රිය සංවර්ධනය සඳහා ආයෝජනයක් කිරීමට නොහැකි වුණා. ඒ නිසා අලුතෙන් රේල්පාරවල් ඉදි කරන්න, අලුතෙන් නවීන දුම්රිය මැදිරි හා එංජින් යොදවන්න, නව තාක්ෂණය යොදවන්න මූල්‍ය සම්පත් දෙපාර්තමේන්තුවට තිබුණේ නැහැ. ආණ්ඩුවට එවැනි සම්පත් දෙන්න රාජ්‍ය මූල්‍ය අවකාශයක් තිබුණෙත් නැහැ. ඒ නිසා දෙපාර්තමේන්තුව වර්ෂයෙන් වර්ෂය කේඬෑරි වුණා. කවුරුවත් ලෝකයේ පාවිච්චි නොකරන, අවුරුදු 60ක් පමණ පැරණි දුම්රිය ගැටගහලා, අමතර කොටස් යොදවා තමයි පාවිච්චි කරන්නේ. ඒ අතින් මේ තරම් පැරණි දුම්රිය ප්‍රමාණයක් සේවාවන් සඳහා ලබා දීම සම්බන්ධයෙන් දුම්රියේ ඉංජිනේරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
    අපට රේල් පීලි ගන්න සල්ලි නැහැ. ඒවා ගෙවී ගියාම පීලි පැන අනතුරට ලක් වනවා. ඒවාට මුදල් නැති වුණාම මම ඉතාම අසීරුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මඟින් රේල් පීලි දස දහසක් ලබා දුන්නා. දුම්රිය එංජින් ලබාගන්න බැරි නිසා ඉන්දීය රජය සමග සාකච්ඡා කර දුම්රිය එංජින් 20ක් ප්‍රදානයක් ලෙස ලබාගන්න රටවල් දෙක අතර සාකච්ඡා පවත්වනවා. චාමර සම්පත් දසනායක රාජ්‍ය අමත්‍යවරයා නිතර කියනවා බදුල්ල පළාතට මංමාවත් ජල බස්නා ජලප්‍රවාහන ක්‍රම විශාල ලෙස අවශ්‍ය බව කියනවා. ඒවා සියල්ල ඇතිත වුනත් දෙන්න මුදලක් නැතිවීම ප්‍රශ්නයක්. මේ රටේ කවුරු ජනාධිපති වුනත් ආණ්ඩුවක් දරන්න ඕන වියදම සපුරාගන්න බැහැ.
    “2023 වසරේදී සියලු මාර්ගවලින් මහා භාණ්ඩාගාරයට ලැබී තිබෙන්නේ ට්‍රිලියන තුනයි. සියලු ආදායම් එකුතු වුණාම ලැබෙන ඒ මුදල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය පොලී සහනාධාරවලට විතරක් ට්‍රිලියන 4ක් ඕනෑ. එදිනෙදා වියදම පවත්වාගෙන යෑමට ට්‍රිලියනයක් මදි. 2023 වසරේදි සමහර ණය ගෙවන්න ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම් ඇතුළු දේවලට මහා භාණ්ඩාගාරයෙන් ට්‍රිලියන 13ක් පිටතට ගිහින් තිබෙනවා. භාණ්ඩාගාරය කියන්නේ සල්ලි එකු වන තැන. ඒකට තුනක් එකතු වෙලා 13ක් එළියට ගියා කියන්නේ 10ක් ණයට අරන් තමයි ඒ ටික කරලා තියෙන්නේ. ඕනෑම දේශලපාලනඥයකුට තම තම නැණ පමණින් විවධ පළාත්වලට ගිහින් විවිධ පොරොන්දු දෙන්න පුළුවන්. අපි සියලු දරුවන්ට උදේටයි දවල්ටයි ආණ්ඩුවෙන් කෑම බීම දෙනවා; පොත් ටික අරන් දෙනවා; පයට පාවහන් දෙනවා; නොමිලේ සීසන් ටිකට් පත් දෙනවා; අබාධිත සියලු දෙනාට සියලු ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් දෙනවා. මේවා කියන්න පුළුළුන්. කොහෙන්ද දෙන්නේ. සියලු වියදම් දරන්නේ මහජනයාගෙන් ගන්න මුදල්වලින්. රාජ්‍ය කළමනාකරණය කියන්නේ ගත් මුදල් අරන් බෙදා හැරීමයි. මේ තත්තවය තුළ අප බොහෝම පිරිමැසුම්දායකවයි මේ කටයුත්ත කර තිබෙන්නේ.
    “අපේ දුම්රිය දෙපාර්තමේන්තුව දුන්හිඳ ඔඩිසි කියලා සුභෝපභෝගී නව දුම්රියක් අද සිට දවසක් ඇර දවසක් ධාවනයට එක් කළා. තිබුණ දුම්රියක් සුඛෝපභෝගී තත්ත්වයට පත් කර ධාවනයට සුදුසු ලෙස සකස් කර දවසක් ඇර දවසක් ධාවනයට එක් කරනවා. සිකුරාදා සවස 6.30ට කොළඹින් පිටත් වී සෙනසුරාදා උදේ ආපහු යනවා. ඉරිදා නැවත පිටත් වී සඳුදා යනවා. බදුල්ලෙන් නැවත අඟහරුවාදා උදේ පිටත් වන දුම්රිය බදාදා නැවත බදුල්ලට එනවා. බ්‍රහස්පතින්දා දුම්රිය නිවාඩු දිනය. බදුල්ලට පැමිණෙන සංචාරකයකු ඇල්ල ප්‍රදේශයේ පමණක් සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ කියා අප කල්පනා කළා. ඒ නිසා දෙපාර්මේන්තුවේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කොවිඩ් සමයේ දුම්රිය වහල ඉවත් කර, යකඩවලට ලී යොදවා කැටයම් සකස් කර, පිරිමැසුම්දායකව අද ඔවුන්නේ නිර්මාණ ශක්තිය තමයි දෙමෝදර සිට හපුතලේ දක්වා පැය දෙකෙන් දෙකට ධාවනය කරන සංචාරක දුම්රියක් ධාවනයට එක් කිරීමට හැකි වුණේ. මෙහිදී ඇල්ල ඕඩිසි, දුන්හිඳ ඔඩිසි, කැල්ප්සෝ කියා දුම්රිය තුනක් මේ පළාතට දී තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු සමස්ත නිලධාරීන් එක්ව මේ කටයුතු කර තිබෙනවා.
    “දුම්රිය ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. ඒත් පසුගිය කාලයේ ලංකාණ්ඩුව සතු දුම්රියේ ඉඩම් විශාල ලෙස අවභාවිත කරලා. ඒ සම්බන්ධයෙන් මම මේ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න කැබිනට් මණ්ඩලය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පළ කරනවා අවුරුදු 10 වැඩි කාලයක් එම ඉඩම්වල බලපත්‍රයක් ඇතිව හෝ නැතිව දුම්රිය රක්ෂිතය අල්ලාගෙන සිටි ඡන්ද හිමි නාමලේඛනයේ වසර 10ට වැඩි සිටි බවට පිළිගත හැකි හිඟ බදු මුදල් ගෙවන අයට නීත්‍යනුකූලව හිඟ බදු බලපත්‍රයක් දීමට අප කටයුතු කරනවා. එය මාස තුනක් ඇතුළත කරගත හැකියි. වසර 10ට වඩා අනවසරයෙන් හෝ බලපත්‍රයක් ඇතිව භාවිත කළ අයට රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ගෙවා මෙය ලබාගත හැකියි. අවුරුදු 10ට අඩු සියලු දෙනාට නඩු පැවරීමට දුම්රිය දෙපාර්තමේන්තු ආඥා පනත යටතේ පියවර ගන්නවා. කිසිම කෙනකුට මේ ආඥා පනත අභියෝගයට ලක් කර නඩු පවරන්න බෑ. එහෙත් ඒ අයටත් සහනයක් ලෙස අයවැය යෝජනාවල ඇතුළත් යෝජනාවක් වන ස්ටේෂන් ප්ලාසා යෝජනාවට අනුව දුම්රිය ස්ථානයක් භාවිත කර, නගරයක් කෘෂි ආයතනයක් වැනි ආයෝජනවලට දුම්රිය ඉඩම් දීමේ කටයුතු විනිවිද පෙනෙන ආකාරයට සිදු කරන්න අප පියවර ගන්නවා.
    “ආණ්ඩුවේ ඉඩම් මහජනතාව සතුයි. මහජන දේපළ සාධාරණ ලෙස භුක්ති විඳීමේ නිදහස තිබෙනවා. ඒ නිසා දුම්රිය ඉඩම් ආදායම් ලබන තත්ත්වයට පත් කරන්නත් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. එහි කිසිදු දේශපාලනයක් නැහැ. හිතවත්කම්වලට කිසිදු ඉඩක් නැති බවත් කියන අතර දුම්රිය සතු වත්කම් දේපළ ව්‍යාපෘති වාර්තා අනුව ලබා දෙන්න සූදානම්. දුම්රිය සතු සම්පත් කළමනාකරණය මඟින් නව අගයක් එක් කරන්න අප බලාපොරාත්තු වනවා. මේ බදුල්ල කොළඹ දුම්රියට ධාවනයට එක් කර වසර 100 සපිරීමේ අවස්ථාව සාර්ථක කරගැනීමට සීමිත සම්පත් භාවිත කරමින් වෙහෙසී කටයුතු කළ දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු පිරිසට ස්තුතිවන්ත වනවා.”
    සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:
    “අද වන විට ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණයට පත්ව තිබෙනවා. එහිදී ඇල්ල ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා. එවැනි අවස්ථාවක මගේ සහෝදර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ බදුල්ල දුම්රිය ධාවනයට එක් කර වසරක් සපිරීම නිමිත්තෙන් දුන්හිඳ ඔඩිසි දුම්රිය සංචාරකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ගැන මම සතුටට පත් වනවා. ඒ මහතා ප්‍රවාහන ඇමැති ලෙස නව දුම්රිය ඉදිරිපත් කරමින් උපක්‍රමශීලි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක පැමිණීමේ ප්‍රතිලාභ ඌව වෙල්ලස්ස ජනතාවට දිය යුතුයි. මේ රට කෝවිඩ් අර්බුදය ආර්ථික අවපාතය රටේ දේශාපලන ආර්ථික ස්ථාවරය භාවය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. රට බේරාගන්න කිසිම දේශපාලනඥයකු ඉදිරිපත් වුණේ නැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී මේ රට බේරාගත්තේ. එතුමාගේ සංකල්පය වුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ආර්ථිකය ඉහළ නැංවීමයි. අපි සියලු දෙනා කිසිම පැකිළීමකින් තොරව ඊට සහාය දෙනවා. මේ එහි එක් අවස්ථාවක්. මෙවැනි විශාල කාර්යයක් සිදු කළ බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.”
    මේ අවස්ථාවේදී උඩරට දුම්රිය මාර්ගය හා සබැඳි සංචාරක මතකයන් පිළිබඳ ඡායාරූප තරගාවලියේ වීඩියෝග්‍රැෆි තරගාවලියේ ප්‍රථමයා ලෙස ඒ.ආර්. එම්.එස්. සංජීව මහතාට රුපියල් 25,000ක මුදලක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණු අතර, දුම්රිය ඉතිහාස ගමන් මඟ පිළිබඳ ලියවුණු පොත් එළිදැක්වීමක්ද සිදු කෙරිණි.
    රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මේජර් සුදර්ශන දෙණිපිටිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම, දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූ අතර,
    නිවාස හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත්, ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, තැපැල්පති රුවන් සත්කුමාර, රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ අධයක්ෂ ජනරාල්, දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ සමරු වැඩසටහනට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya