එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද සඳහන් කළේය.
පසුගිය සමයේ වැටී තිබූ රට යළි ගොඩ නැඟීමේ කාර්ය භාර්ය අභියෝගාත්මක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරගැනීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් වූ ගිවිසුමට එළඹුණා. අනතුරුව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සාකච්ඡා සඳහා යොමු වුණා. එම තත්ත්වය තුළ මේ වසර වන විට රට සහනදායී ආර්ථික පිළිවෙතකට පැමිණ සිටිනවා. එම තත්ත්වය සම්බන්ධයෙන් අකමැත්තෙන් වුවත් සියලු දෙනාටම පිළිගැනීමට සිදුව තිබෙනවා.
එමෙන්ම එවකට ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් හාරසියයට ආසන්න අගයක් ගත්තා. නමුත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 300 දක්වා පහලට පැමිණ තිබෙනවා. ඒ නිසා සියලු ආනයන භාණ්ඩ සඳහා ගෙවිය යුතු වන රුපියල් ප්‍රමාණය අඩු වී තිබෙනවා.
ඒ වගේම බින්දුවට සිඳී තිබූ දළ නිල විදෙස් සංචිතය අද වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා වැඩි වී තිබෙනවා. ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. ඒ අනුව රුපියල ශක්තිමත් වී තිබෙනවා. භාණ්ඩ රැසකම මිල ගණන් අඩු වී තිබෙනවා. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වී තිබෙනවා.
එමෙන්ම පොලී අනුපාතය පහත වැටී තිබෙනවා. 70% තිබුණු උද්ධමනය 6%ට දක්වා පහත වැටී තිබෙනවා. ඒ සමඟ බඩු මිල වැඩිවීමේ වේගය අඩු වී තිබෙනවා. ඒ අනුව පැවති අහිතකර සහ භයංකර තත්ත්වයෙන් රට ගොඩවිත් තිබෙන බව කිව යුතුයි.
කුමන ආණ්ඩුව බලයට පැමිණියත් වර්තමාන නව මහ බැංකු පනත අනුව මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම තහනම් කර තිබෙනවා. එමඟින් මූල්‍ය කළමනාකරණයේ විනය පවත්වා ගෙන යාමට හැකි වී තිබෙනවා.