ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි.
ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබු අතර ඍජු විදේශ ආයෝජන සහ අපනයන කාර්ය සාධනය සඳහා සිදු කර ඇති දායකත්වය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් වෙත සම්මාන 30 ක් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර දිගුකාලයක් පුරා ක්‍රියාකාරිව පැවැති සමාගම් සඳහා ද විශේෂ ඇගයීමක් සිදු කෙරිණ.
මීට අමතරව, පුද්ගල මට්ටමින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මත පදනම් වූ නව සම්මාන කාණ්ඩයක් යටතේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර්, මාස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ සෙයිල් ලංකා යාත්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පියරේ ප්‍රින්ජර්ස් යන මහත්වරුන් වෙත සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.
ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් 1981 වසරේ බියගම ආයෝජන කලාපය විවෘත කිරීමේ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්, සමරු තිළිණයක් ලෙස මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
විශේෂ ආර්ථික කලාප (SEZs) පිහිටුවීම සඳහා දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව පුරෝගාමී වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, කටුනායක සහ බියගම වැනි ආයෝජන කලාප ප්‍රධාන ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම, කාර්මික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රැකියා අවස්ථා ඇති කිරීම යන අංශයන්හි සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,
ආයෝජන මණ්ඩලය රටට හඳුන්වාදී වසර 45ක් වෙනවා. 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මෙරට ආර්ථිකයේ කොටසක් විවෘත කිරීමට තීරණය කළා. එක් කොටසක් පාලනය කර, සමාජගත කර තිබෙන නිසා ආර්ථිකය මුළුමනින්ම විවෘත කිරීම එකවර සිදු කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කළා. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික කලාපය නිර්මාණය කළා.
මේ සඳහා බියගමත් ඇතුලත් කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටියා. 1978 ජනවාරි මාසයේදී මීට අදාළ නීතිය සම්මත වුණා.
කටුනායක ආයෝජන කලාපය බිහිවුණේ ඉන් අනතුරුවයි. දෙවෙනි ආයෝජන කලාපය වන්නේ බියගම ආයෝජන කලාපයයි.
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංගමය (UNIDO) බියගම ආයෝජන කලාපයක් සෑදීමට නොහැකි බව සඳහන් කර පිටව ගියා. නමුත් ඒ කාලයේ ආයෝජන මණ්ඩලයේ සිටි ඉංජිනේරුවන‍් බියගම ආයෝජන කලාපයක් සෑදීමට හැකි බව සඳහන් කළා. ඒ වගේම ඔවුන් බියගම ආයෝජන කලාපය ඉදි කළා.
මෙරට ආයෝජන කලාපවල ආයෝජන කලාපවල ආරම්භය සිදු වුයේ ඒ ආකාරයටයි. මෙරට ආයෝජන කලාප ගොඩනැගීම වෙනුවෙන් දායකවූ මෙහි සිටින බොහෝදෙනෙකුට මගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි.
මෙම ආයෝජන කලාප දෙක තුළදී, ඔබට එල්ටීටීඊ තර්ජනයට මුහුණදීමට සිදු වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ භිෂණයට ද මුහුණ දීමට සිදු වුණා. මෙම ආයෝජන කලාප දෙක ආරක්ෂා කිරීමට ඊට ඇතුල්වන සහ පිටවෙන සියළුදෙනා පරීක්ෂා කළ යුතු බව ආරක්ෂක හමුදා ඉල්ලා සිටියා.කෙසේ හෝ අප ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වුණා. ඒ වගේම පසුගිය වසර දෙකක පමණ කාලයක් පැවැති දුෂ්කර ආර්ථික තත්ත්වයෙන්ද මෙම ආයෝජන කලාප ආරක්ෂා වුණා.
පසු කලකදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීමට අවශ්‍ය බව තීරණය කළා. ඔහු එය කර්මාන්ත ශාලා 100කින් ආරම්භ කළ නමුත් ඒවා මේ කලාපවලට පමණක් සීමා කළ නොහැකි වුණා. ඒ නිසා එම කටයුත්ත ආයෝජන මණ්ඩලයට පැවරුවා. මේ හරහා රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදි වුණා. ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
එදා සතියෙන් සතිය අප කර්මාන්තශාලා විවෘත කළා. ඒ දවස්වල රට සංවර්ධනය කළේ එහෙමයි. අප අලුත් අගනුවරක් ද නිර්මාණය කළා. ඒ වගේම මහවැලි ව්‍යාපාරය නිර්මාණය කළා. නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළා. මේ ආකාරයට රට පුරා සංවර්ධන කටයුතු රැසක් අප සිදු කළේ අවුරුදු 15ක් ඇතුළතයි.
පසුගිය කාලයේ ඉතා නරක කාල පරිච්ඡේදයක් පසු කළා. ඔබ සියළුදෙනාම ඊට මුණු දුන්නා. අප දැන් ආර්ථිකමය වශයෙන් ඒ සියළුදෙනාගේ විශ්වාසය යළි ගොඩනැගීම සඳහා මේ කාලය වෙන් කළ යුතුයි.
කෙසේ වුවත් අප අවුරුදු දෙකකටත් අඩු කාලයකදී ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට සමත් වුණා. මේ වන විට අප එම තත්ත්වය පවත්වාගෙන යනවා. ඒ වගේම අප ආර්ථික ස්ථාරත්වය පවත්වා ගෙන යාමට තවදුරටත් මහ බැංකුව මත රඳා සිටින්නේ නැහැ. ඒ සඳහා අප වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙනවා.
ඒ නිසා ඊළඟට අපට තිබෙන්නේ අපනයනය ඉලක්ක කරගත් ඉහළ තරගකාරී ආර්ථිකයක් දක්වා අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. ඔබට එය සිදු කිරීමට වසර 10ක් 15ක් වැනි කාලයක් ගතවනු ඇතියි. ඒ අතරතුර ආර්ථික කොමිසම ලෙස ආයෝජන මණ්ඩලයේ ස්වභාවය වෙනස් කරන බවද කිව යුතුයි.
ඒ සමඟ අප ශ්‍රී ලංකාම ආවරණය වන ආකාරයට එක් ආයෝජන කළාපයක් නිර්මාණය කරනවා. එවිට ආයෝජකයෙකු වන ඔබ එහි බලපත්‍ර හිමියෙකු වනවා. ඒ තුළ ඔබට ඔබේම කලාප පවත්වාගෙන යා හැකියි.
මේ වන විට අපට බියගම ප්‍රදේශයේ අක්කර දහසක් පමණ තිබෙනවා. ත්‍රිකුණාමලයේ අක්කර තුන්දාහක් හාරදාහක් පමණ සොයමින් සිටිනවා. උතුරේ තවත් අක්කර දහසක් පමණ තිබනෙවා. හම්බන්තොටද අක්කර තුන් හාරදාහක් පමණ තිබෙනවා. මේ නිසා අප සැලකිලිමත් වන්නේ යටිතල පහසුකම් සම්බන්ධවයි.
අප දැන් අවධානය යොමු කරන්නේ වඩාත් තරගකාරී ආයෝජන ලබා ගැනීමටයි. ආර්ථිකය වඩාත් තරගකාරී කිරීමට සහ රට ආයෝජන හිතකාමී තත්ත්වයට පත් කිරීමටයි.
ඒ වගේම අප සමස්ත වෘත්තීය පුහුණු පද්ධතියම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ක්‍රමයෙන් අහෝසි කර ඒ වෙනුවට වෘත්තීය විද්‍යාල ආරම්භ කරනවා.
ඒ නිසා සිසුන්ට තම පාසලෙන් වෘත්තීය විද්‍යාලයකට මාරුවීමේදී මෙන්ම අලුත් විෂය ධාරාවක් ඔස්සේ ඉහළට යාමේදී ඔවුන්ට ලැබිය යුතු ගෞරවය අහිමි වන්නේ නැහැ. නව කනිෂ්ඨ තාක්ෂණික නගර පිහිටුවීම පිළිබඳව ද දැන් සාකච්ඡා කරමින් තිබෙනවා. අවම වශයෙන් එවැනි නගර තුනක් හෝ හතරක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
අප ඩිජිටල් ආර්ථිකයට සහාය දෙනවා. නව ඩිජිටල් හුවමාරු නියෝජිතායතනයක් පිහිටුවනවා මෙන්ම කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා අරමුදල් ද සපයනවා.කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන මඟින් වසර දහයක් පමණ වන විට අලුතින් අක්කර 500,000ක් පමණ වගා කිරීමට හැකි වනු ඇති අතර, එම ප්‍රමාණය නිර්මාණය වන්නේ දැනට පවතින වගාබිම් ප්‍රමාණයට අමතරව බවද සඳහන් කළ යුතුයි. ඒ තුළ ඉහළ ඵලදායී කෘෂිකර්මාන්තයක් බිහිවෙනවා.
ශ්‍රී ලංකාව සැපයුම් දාම මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවත් සැලසුම් කර තිබෙනවා. නමුත් මේ සියල්ල පළමුව රඳා පවතින්නේ ඔබ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබාගෙන ශ්‍රී ලංකාව තුළ නැවත නැවතත් ආයෝජනය කිරීම මෙන්ම පිටත සිට පැමිණෙන නව ආයෝජකයින් මතයි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි වන මහත්වරුන් ද ආයෝජන මණ්ඩලය යටතේ පවතින ජාත්‍යන්තර සහ දේශීය සමාගම්වල ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.