මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අනාගත දරු පරපුර නීතිගරුක, විනයගරුක සත්පුරුෂයන් බවට පත් කළ හැක්කේ දහම් අධ්‍යාපනය මඟිනි - ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 02, 2024

    හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීම උදෙසා සංවිධානය කෙරුණු "දම්ගුරු අභිමන් උපහාර උළෙල 2024 " මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    එහි දී, රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර නීතිගරුක, විනයගරුක සත්පුරුෂයන් බවට පත් කළ හැක්කේ දහම් අධ්‍යාපනය මඟින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;

    "අද්‍යතන ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වන්නේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර නීතිගරුක, විනය ගරුක සත්පුරුෂයන් බවට පත් කරන්නේ කෙසේද යන්නයි. ලෝකයේ ඇති වෙමින් පවතින තාක්ෂණික විප්ලවයත් සමඟ තාක්ෂණික මෙවලම් වලින් දරු පරපුර යහමගට රැගෙන යනවාට වඩා වේගයකින් වැරදි මාර්ගවලට යොමු වීම දක්නට ලැබේ. වර්තමානයේ දරුවන් බොහෝ දෙනෙක් තම දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ආගමික නායකයින්ට කිසිදු ගරුත්වයක් නොදක්වයි. ගොරෝසු පැතලි චරිත සහිත පුද්ගලයින් බවට ඔවුන් පත්වෙමින් තිබේ. දීර්ඝ කාලීන අධ්‍යාපන චාරිකාවෙන් පසුව අති දක්ෂම  පිරිස බවට පත්වෙමින්  සරසවි වලට තේරී පත්වන දරුවන් එහිදී හැසිරෙන ආකාරය තුළින් ඔවුන්ගේ යහගුණ පැවතුම් පිරිහී තිබෙන බව පෙනේ. ඉහත තත්ත්වය නිවැරදි කළ හැක්කේ දහම් අධ්‍යාපනය තුළිනි.

    දහම් පාසල සහ දහම් අධ්‍යාපනය තුළින් මෘදු මොළොක් දැහැමි සිතුවිලි සහිත දරු පරපුරක් බිහිකිරීම උදෙසා දහම් පාසල් ගුරුවරුන් සිදු කරන මෙහෙය මුදලින් තක්සේරු කළ නොහැක. නිසි වැටුපක් හෝ වේතනයක් නොලැබ විවේකීව ගත කළ හැකි ඉරිදා දිනයද  කැප කරමින් දරුවන්ට යහමග කියා දීමට වෙහෙසෙන මේ ගුරුවරුන් සැබැවින්ම දෙවිවරුය. ඔවුන් කිසි දිනෙකත් වැටුපක් හෝ වැටුප් වැඩි කිරීමට ඉල්ලා උද්ඝෝෂණ පිකටින් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලට දායක වී නොමැත.

    දීර්ඝ කාලයක් තිස්සේ දහම් පාසල් ගුරුවරුන්ගේ සහ ශාසනාරක්ෂක බල මණ්ඩලවල ඉල්ලීමක් වූයේ ධර්මාචාර්ය විභාගය සමත් වී දිගු කලක් දහම් පාසල් වල සේවය කළ ගුරුවරුන් වෙත රජයේ ගුරු පත්වීම් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි. එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා ලංකාව පුරා දහම් පාසල් ගුරුවරුන් දහසකට ඉහත සුදුසුකම් අනුව ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර දහම් පාසල් ගුරුවරුන්ට ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කිරීමේදී වැඩියෙන්ම බැනුම් ඇසූ, අවලාද අපහාස උපහාසයන්ට ලක් වූ  අමාත්‍යවරයා මමයි.

    ඒ අවස්ථාවේදී වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දහම් පාසල් ගුරුවරු දහසකට ගුරු පත්වීම් ලබාදීම පිළිබඳ මට පාර්ලිමේන්තු බැන වැදුණු ආකාර හැන්සාඩ් වාර්තාවල පැහැදිලිව සටහන්ව ඇත. කිසිදු දිනක ධර්මාචාර්ය විභාගය සමත් වූ පිරිසට ගුරු පත්වීම් ලැබුණේද නැත. එවන් තත්ත්වයක් තුළ මේ ආකාරයෙන් දහම් පාසල් ගුරුවරුන් ඇගයීමට  දායක වූ සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය." යනුවෙන් ප්‍රකාශ කළේය.

    ගෞරවනීය මහා සංඝරත්නය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, බෞද්ධ කටයුතු කොමසාරිස් තුමා, හෝමාගම කලාපයේ දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්, ආචාර්ය මණ්ඩල සාමාජිකයින්, දහම් පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya