මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පණිවිඩය

    මාර්තු 31, 2024

     ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන්  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසයි. එම නිවේදනය පහත දැක් වේ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍ය සමරති.

    ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.

    ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා ද මහත් පීඩාවකට පත් වූයෙමු. එහෙත් දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතුය.

    බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වේ. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමකි.

    ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් සහ භක්තියෙන් සමරනු ලබන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. එම අඳුරු මතකය කිසිදා අප හදවත් තුළින් මැකී නොයන අතරම, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට රජය අවකාශ සලසා දී තිබෙන බවත්, එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති වීමට කිසිදු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් සිහිපත් කරනු කැමැත්තෙමි.

    සියලුම කිතුනු ජනතාවට ආශිර්වාදාත්මක හා ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ,
    ජනාධිපති,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya