අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ තැඹිලි ආදර්ශ ගම්මානය හෝමාගමින් ඇරඹේ

    මාර්තු 28, 2024

    හෝමාගම සංවර්ධන කමිටු සභාපති, ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දාම්පෙ තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇති අතර
    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ලෙස මෙම ක්‍රියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ හෝමාගම දාම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි.

    මේ යටතේ අපනයනය ඉලක්ක කරගත් ප්‍රමිතියෙන් යුතු තැඹිලි වගාවක් ලෙස ප්‍රදේශයේ ප්‍රචලිත කිරීම සිදුකෙරෙනු ඇත. ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද ගුණත්වයෙන් ඉහළ තැඹිලි පැල ප්‍රදේශයේ ගොවි සංවිධාන ප්‍රජා සංවිධානය ඇතුළු ගොවි පවුල් 100ක්‌ සඳහා සඳහා බෙදා දීමද සිදුකෙරිණි.

    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    " රට තුළ ආරම්භ වන ඕනෑම ව්‍යාපෘතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස හෝ මෙම ප්‍රදේශයට රැගෙන එන්නට අප සෑම විටම උත්සාහ කලා. ඒ අනුව කොළඹට සීමා වී පැවැති කෘෂි ද්‍රව්‍ය වෙළඳපොළ රට පුරා විසුරුවා හැරීම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හරහා හෝමාගම ප්‍රදේශයට ගෙන ඒමට අප කටයුතු කළා. මේ වන විට එවැනි ආර්ථික මධ්‍යස්ථාන රාශියක් දිවයින පුරා ආරම්භ වී තිබෙනවා.
    ආසියාවේ විශාලතම ද්විතීක පාසල ලෙස මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ එවැනි පාසල් රාශියක් දිවයින පුරා ඇතිවුණා. පළමු මහින්දෝදය විද්‍යාගාරය මෙම ප්‍රදේශයේ පිහිටුවීමෙන් අනතුරුව දිවයින පුරා එවැනි විද්‍යාගාර දහසක් ඇතිවුණා.
    මෙම ප්‍රදේශයේ ජීවත්වන පවුල් 850කට අධික ප්‍රමාණයකට නිසි මග පෙන්වීමක් සිදුකිරීම තුළින් ක්‍රමානුකූලව අපනයනයට සුදුසු ආකාරයෙන් මෙම තැඹිලි වගාව සිදු කිරීමේ සියලු පහසුකම් පවතිනවා. එම නිෂ්පාදන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හරහා එක් රැස් කිරීමේ පහසුකම් පවතිනවා.
    ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ඇති කළ පානලුව කර්මාන්ත ගම්මානයේ අපනයනය සඳහා තැඹිලි වතුර සැකසුම් කරන කර්මාන්ත ශාලාවක් ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය ගුණත්වයෙන් යුතු තැඹිලි නිෂ්පාදනය කිරීමේ පහසුකම මෙම ප්‍රදේශය තුළ පවතිනවා.
    මෙවැනි නිෂ්පාදන ඉතාමත් අඩු මිලට වෙළඳපොළට යොමු කිරීම තුළින් නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. ඒ සඳහා ස්ථාවර ක්‍රමානුකූල මිලක් ඇති කරගත හැකි වන්නේ අදියරෙන් අදියර වෙළඳපොළ රැකගනිමින් ක්‍රමානුකූලව ඉහළ මිලක් කරා ගමන් කිරීම තුළින් පමණයි.
    ශ්‍රී ලංකාවට සිටින විශාලතම තැඹිලි කර්මාන්තයේ තරගකරුවා වන්නේ තායිලන්තයයි. ඔවුන්ගේ පොල් වතුර සහ තැඹිලි වතුර අඩු මිලට එකතු කළ අගයක් සහිතව විදේශ වෙළද පොළවල අලෙවි වනවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පොල් වතුර සහ තැඹිලි වතුර විදේශීය වශයෙන් අලෙවි කරනු ලබන්නේ ප්‍රමුඛ පෙලේ එක් සමාගමක් පමණයි. ප්‍රවාහනය වැනි සාධක පිළිබඳවද අවධානය යොමු කරමින් අපනයනය ඉලක්ක කරගත් වෙළෙඳපොළ සකසා ගැනීමේදී පුළුල් අධ්‍යයනයක් සිදුකර කෙටි කලක් තුළ වැඩි ඵලදායිතාවයක් ලබාගත හැකි ප්‍රභේද වගාව සඳහා යොදා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම නව තාක්ෂණය මුසුකරගත් ඇසුරුම් ක්‍රමවේද භාවිතා කිරීම ඉතාමත් වැදගත්."

    පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය මාධවී හේරත් මහත්මිය, සාමාන්‍යාධිකාරී අථිල විජේසිංහ මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya