අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේන්ද්‍රීය අධ්‍යාපන නගරයක් වූ හෝමාගම මත්ද්‍රව්‍යයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී කලාපයක් විය යුතුයි - ඇමති බන්දුල

    මාර්තු 27, 2024

    NSBM හරිත විශ්ව විද්‍යාලය ඇතුළුව පිටිපන සහ හෝමාගම සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක ගැටළු සහ එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් NSBM හරිත විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ප්‍රදේශයේ ආරක්ෂාවට සහ සාමකාමී ප්‍රදේශයක් ලෙස පවත්වාගැනීමට අදාලව පවතින විවිධ ගැටලු සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් යෝජනා රැසක් ඉදිරිපත්විය. එමෙන්ම පවතින ඇතැම් ගැටලු නිරාකරණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ ජනතාව ලෙස ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිතුමා ඇතුළු ආරාධිතයින් විසින් කරුණු පැහැදිලි කරන ලදී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,


    "ජයග්‍රහණයකදී ඊට පියවරුන් විශාල පිරිසක් සිටියත්, ගැටළුවක් ඇතිවූ අවස්ථාවේදී එය භාර ගැනීම සඳහා කිසිවකු ඉදිරිපත් වන්නේ නැහැ. මීට දශක කීපයකට පෙර හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල පැවතුනේ සියලු අවශ්‍යතාවයන් සඳහා කොළඹට ගමන් කළ යුතු තත්ත්වයක්. නගරයේ කිසිවෙකුත් ගමට පැමිණුනේ නැහැ. ඒ ඉතිහාසය වෙනස් කිරීම සඳහා වෙනම සංකල්පයකට අනුව වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කළා. එතෙක් කොළඹට සීමා වී පැවැති ආර්ථික මධ්‍යස්ථානයක් පළමු වරට මීගොඩ ස්ථාපිත කලා. කොළඹ ජනප්‍රිය පාසල් සොයා ගිය දරුවන් වෙනුවෙන් පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආසියාවේ විශාලතම ද්විතීක පාසල ලෙස ස්ථාපිත කලා. තාක්ෂණ වේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් අධ්‍යාපනයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළා.
    අද වන විට 100% රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශමත් හරිත විශ්ව විද්‍යාලයක් බවට NSBM විශ්වවිද්‍යාලයේ පත්ව තිබෙනවා. ඒ සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහාත් මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව හෝමාගම ප්‍රදේශය අනාගතයේදී වෛද්‍යවරුන් බිහිකරන භූමියක් බවට පත්වනු ඇති. ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩා විශ්ව විද්‍යාලය දියගම ඉදිකිරීමට නියමිතයි. මේ සියල්ල සමගින් රට තුළ පවතින සුවිශේෂී අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට හෝමාගම පත්ව තිබෙනවා. මේ තත්ත්වය මත සිසුන් සිය දහස් ගණනක් අධ්‍යාපනය ලැබීමට පැමිණීමත් සමඟ බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග බිහිවී තිබෙනවා. මේ හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව රටේ ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට මේ මැතිවරණ කොට්ඨාශයට පැමිණීම සඳහා අවශ්‍ය පරිසරය සහ පසුබිම අප විසින් සකස් කළ යුතුයි. රටේ විවිධ ප්‍රදේශවල දරුවන් මෙම විශ්ව විද්‍යාලය වෙත යොමු කරන්නේ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමේ විශාල බලාපොරොත්තුවක් ද සහිතවයි. මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ දුරාචාරයන්ට ගොදුරු වීමෙන් මේ තරුණ පරපුරේ ජීවිත විනාශයට ලක්වුවහොත් ඒ වගකීමේ කොටසක් ප්‍රදේශවාසීන් ලෙස අපටද හිමිවනවා.කේන්ද්‍රීය අධ්‍යාපන නගරයක් වූ හෝමාගම මත්ද්‍රව්‍යයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී කලාපයක් විය යුතුයි.
    එම නිසා දෙමාපියන් වැඩිහිටියන් ලෙස ඒ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මේ ප්‍රදේශයට විශේෂ පොලිස් ස්ථානයක් පිහිටුවීම සඳහාද අනුමැතිය ලැබී තිබෙනවා. මේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව පොලිසියද විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව පවතිනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් සියලු දෙනාගේ ද සහයෝගය ලබා දිය යුතුයි. මේ සියල්ල සිදුකිරීම සඳහා ජනතාව විසින්ම ස්වයං ශික්‍ෂණයක් ඇති කරගත යුතුයි. ඒ තුලින් ප්‍රදේශයට ගමට මෙන්ම රටටද විශාල ජාතික මෙහෙවරක් ඉටු කල හැකියි."
    මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා,NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ. වීරසිංහ මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, උසස් පොලිස් නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රදේශයේ නවාතැන් සහ නේවාසිකාගාර හිමියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya