ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (26) පෙරවරුවේ ආරම්භ වු ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි. සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම, ප්‍රජාවන් බලගැන්විම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයක් සිදු කිරීම පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කෙරිණි.
එම විද්වත් සාකච්ඡා සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ පාලනය පිළිබද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දැනුම හා අත්දැකීම් සපිරි ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් එක්ව සිටියහ.
නව නීති සම්මතවීම සමඟ අපනයන ඉලක්ක කර ගත් ඩිජිටල් හා හරිත ආර්ථකයක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය,
රටේ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ පහසු කිරීම සඳහා නව ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
තොරතුරු තාක්ෂණ සභා වැනි පවතින ව්‍යුහයන්ගෙන් ඉවත් වී, ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානයක් (AI Center) නිර්මාණය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන් කිරීමට අප කටයුතු කළා.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, දරිද්‍රතාවයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රවර්ධනය කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ ජාතික ඉලක්කයක් ආණ්ඩුවට තිබෙනවා. 2035 වන විට මෙරට ජනතාව ගේ දරිද්‍රතාවය 10% නොඉක්මවන බව සහතික කිරීම අපගේ අරමුණයි.
මෙම ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමේදී ශක්තිමත් ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමේ සහ නිවැරදි දත්ත රැස් කිරීම වැදගත් වෙනවා. මෙම දත්ත මඟින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආදායම් මට්ටම් වැනි විවිධ මානයන් සලකා බලා පිළියම් යෙදීම කළ යුතුයි.
යෝජිත නියෝජිතායතනයේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම වසරේ මැද බාගය වන විට පාර්ලිමේන්තුවට නීති ගෙන ඒම අපේ අරමුණයි. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපය ප්‍රධාන වර්ධන කලාපයක් ලෙස මතුවන බැවින් ශ්‍රී ලංකාව තරඟකාරී ආර්ථිකයක් බවට පත්වීමට මෙම ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්ති රාමුව ඉතා වැදගත් වනවා.
මෙම වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන මට්ටමින් අධ්‍යාපන පද්ධතිය ද ශක්තිමත් කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පාසල්වලට හඳුන්වා දීම ප්‍රධාන වැඩසටහනක් වන අතර වසර පහක් හෝ අටක් තුළ ඒ සඳහා සෑම පාසලක්ම සම්බන්ධ කරලීමත්, එම වැඩසටහන විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට, ඉන්දීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් චෙන්නායි ඉන්දීය තාක්ෂණ ආයතනයේ (IIT) ශාඛාවක් මෙරට ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රයෝජනයට ගනිමින් තාක්ෂණික විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු විශ්ව විද්‍යාල තුනක් මෙරට පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා.
සුදුසු උපාය මාර්ග අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ඉන්දියානු විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා සාමූහික සහාය අවශ්‍යයි. 21 වන සියවසේ අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී නවීකරණය වැළඳ ගැනීමේ හදිසි අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,
DIGIECON 2030 මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට, ජාල වැඩිදියුණු කිරීමට සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා ඩිජිටල් මූල්‍ය සේවා (DFS) ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ඩිජිටල් රාජ්‍ය නැමැති සංකල්පය පෝෂණය කිරීම සහ සයිබර් ආරක්‍ෂාව වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා සෑම තරාතිරමකම ඩිජිටල් පොදු යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.
තාක්ෂණික ව්‍යාපාර ප්‍රාග්ධන සඳහා වේදිකාවක් සකස් කරලමින් ජුනි 25 වන දින ගෝලීය ආයෝජන සමුළුවක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තාක්‍ෂණික පරිසර පද්ධතියේ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා වෙනස්කම් වැළඳ ගනිමින් රටේ ඩිජිටල් පරිවර්තනය සඳහා දායක වන ලෙස ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, කාවිංග ජයවර්ධන, මයන්ත දිසානායක, චරිත හේරත්, මොහොමඩ් මුසම්මිල්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.