මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාකරුවන්ගේ අයිතිවාසිකම් ඇතුළත් දළ පනත් කෙටුම්පත අධිකරණ ඇමතිට

    මාර්තු 21, 2024

    ශ්‍රී ලංකේය කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව සකස් කරන ලද දළ කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදීම ඊ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විණි.

    එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය.

    කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුලින් කලාකරුවන්ගේ වෘත්තියමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
    අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතාගේ මුලිකත්වයෙන් ප්‍රවීණ කලාකරුවන් විසින් දළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සදහා කලාකරුවන්ට තම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

    නව දළ කෙටුම්පත සකස් කිරීම පිළිබදව විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා අවස්ථා කිහිපයකදී පැවැත්විණි.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, ප්‍රවීණ කලාකරුවන් වන සමන් ද සිල්වා, රොහාන් ද සිල්වා, නදීකා ගුණසේකර, මනීෂා ශ්‍යාමලී, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණයන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya