අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ විදුලියට පරිවර්තනය කිරීම සඳහා නව මධ්‍යස්ථානයක්

    මාර්තු 15, 2024

    වේගා ඉනෝවිටිව් ආයතනය මගින් මෙරටදී නිෂ්පාදනය කරන ලද ත්‍රිරෝද රථ සහ විදුලියට පරිවර්තනය කරන ලද මෝටර් රථවලට අවශ්‍ය ආරෝපණ පහසුකම් ලබාදීම සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ මධ්‍යස්ථානයක් කොල්ලුපිටිය ප්‍රදේශයේදී ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් විවෘත විය.


    කෙටි කාලයක් තුළ අඩු ධාරිතාවයකින් යුතු යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් විදුලි වාහන ආරෝපණය කළ හැකි ආරෝපණ පහසුකම් මෙම ස්ථානයේ ස්ථාපනය කර ඇති අතර ඒ තුළින් පැයකට වඩා අඩු කාලයකදී ත්‍රිරෝද රථයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි වනවා. කිසිදු මුදල් භාවිතයකින් තොරව ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙම ස්ථානයේදී ත්‍රී රෝද රථ ඇතුළු වාහන ආරෝපණය කිරීම සහ ඊට අදාළ මුදල් ගෙවීම ඇතුළු කටයුතු සිදු කර ගැනීමේ තාක්ෂණික පහසුකම් ද පරිභෝගිකයින් වෙත සලසා තිබෙනවා.
    ඉදිරියේදී දිවයින පුරා සියලු ආරෝපණ මධ්‍යස්ථානවලට මෙම පහසුකම් ලබාදීම සඳහා වේගා ඉනෝවෙටිව් ආයතනය විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා.
    එමෙන්ම දැනට ඉන්ධන භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා CDB ආයතනය සමඟ එක්ව පහසු මුල්‍ය පහසුකම් ලබාදීමේ කාර්යාලයක්‌ ද මෙම පරිශ්‍රයේදී ක්‍රියාත්මකයි. ඒ යටතේ ඕනෑම පාරිභෝගිකයකුට මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගෙන තම ත්‍රිරෝද රථය කෙටි කාලයක් තුල විදුලියට පරිවර්තනය කරගැනීමේ පහසුව හිමිවනු ඇති.
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    "ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම උදෙසා පරිසර හිතකාමී විදුලි ත්‍රී රෝද රථ නිෂ්පාදනය සහ විදුලියට පරිවර්තනය කිරීම පිළිබඳව සුවිශේෂී අවස්ථාවක් අද දින සනිටුවන් වනවා. මීට පෙර ශ්‍රී ලංකාව තුළ විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට හැකියාවක් පැවතුණේ නැහැ. නමුත් මේ වන විට අපගේ මැදිහත්වීම සහිතව ප්‍රවාහන අමාත්‍යාංශය සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ නීති රීති සම්පාදනය කර මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ ප්‍රමිතීන්, සම්මතයන්, ආරක්ෂක ක්‍රමවේදයන් ආදිය පිළිබඳව සම්මත පිරිවිතර පද්ධතියක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සකස් කර තිබෙනවා. ඒ අනුව වේගා ඉනොවේටිව් ආයතනය මගින් 100% මෙරට දී නිෂ්පාදනය කරන ලද පළමු විදුලි ත්‍රිරෝද රථය මේ වන විට ලියාපදිංචි කර තිබෙනවා.
    එමෙන්ම දැනට මෙරට පවතින ලක්ෂ දහතුනකට අධික ඉන්ධන මගින් ධාවනය වන ත්‍රීරෝද රථ කඩිනමින් විදුලියට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදයක් ද වේගා ආයතනය මගින් හඳුන්වා දී තිබෙනවා. ඒ යටතේ පැය හතරකට අඩු කාලයක් තුළදී දැනට පවතින ත්‍රිරෝද රථයක් විදුලියට පරිවර්තනය කිරීමේ හැකියාව එම ආයතනයට පවතිනවා. දින දෙකක පමණ කාලයක් තුළ ඊට අදාල ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු නීතිමය කටයුතු සිදුකර දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවශ්‍ය වැඩපිළිවෙල සකසා තිබෙනවා. පුද්ගලික අංශය මගින් සිදු කරන ඵලදායි ව්‍යාපෘතියකට රජය ලෙස ලබාදිය යුතු උපරිම සහයෝගය ලබාදීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ඇතුළු යටිතල පහසුකම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගබඩා සංකීර්ණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදී තිබෙනවා. මේ වන විට එම පරිශ්‍රය තුළ සම්පූර්ණයෙන්ම දේශීයව විදුලි ත්‍රිරෝද රථයක් නිපදවීමට අවශ්‍ය කර්මාන්ත ශාලා පිහිටුවා තිබෙනවා.
    එමෙන්ම ලෝකේ කිසිදු රටක නොපවතින ආකාරයේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු අඩු ධාරිතාවයකින් යුතු වාහන ඇතුළු ඕනෑම විද්‍යුත් වාහනයක් වේගයෙන් ආරෝපණය සඳහා පහසුකම් සහිත( Fast charge ) නවීන ආරෝපණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට වේගා ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙවැනි මධ්‍යස්ථානයක් ලෝකයේ ආරම්භ කර ඇති පළමු අවස්ථාව මෙයයි. මාර්ග සංවර්ධන අධිකාරිය සතු සුදුසු ස්ථානවල, දිවයින පුරා මෙවැනි ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරියේදී අප පියවර ගන්නවා. ඒ තුළින් ඉන්ධන සඳහා දිනකට වැය වන මුදල රුපියල් දෙදහසකින් පමණ අඩු කළ හැකි බව එම ආයතනය විසින් ගණනය කර තිබෙනවා. සෑම දෙයක් පිළිබඳව සෘණාත්මක අදහස් දරන රටක සුබවාදීව අනාගතය දෙස බැලිය හැකි ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව, ලෝකයට අලුත් දෙයක් එක් කිරීම පිළිබඳව රජයක් වශයෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අප පියවර ගන්නවා."
    වේගා ඉනොවේටිව් සමාගමේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, CDB මූල්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya