නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 සහ 2023 වර්ෂවලදී නව පනත් සහ සංශෝධිත පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා

    මාර්තු 14, 2024

    2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

    2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    2022 වසරේ දී නව පනත් 29 ක් සහ 2023 වර්ෂයේ දී නව පනත් 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව නව පනත් සහ සංශෝධිත පනත් සමස්ත සංඛ්‍යාව 107ක් වනවා. මෙය අධිකරණ අමාත්‍යාංශයේ ඉතිහාසයේ සංශෝධනය කර ගැනීමට හැකිවූ වැඩිම පනත් සංඛ්‍යාව ලෙස හැඳින්විය හැකියි.

    ඒ වගේම බන්ධනාගාරවල සිටින රැදවියන් රටට වැඩ ඇති පිරිසක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර ආශ්‍රිතව මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මකයි. සපත්තු, කොයිල් සහ ආහාර මෙමඟින් නිෂ්පාදනය කෙරෙනවා.

    එමෙන්ම දඩුවම් කාලයේදී නිවාස අඩස්සියේ රැඳවා තැබීම හරහා දඩුවම් කාලය අවසන් කරන්නේ (House arrest concept) කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු යසන්ත කෝදාගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් කිරීම සඳහා යොමු කර තිබෙනවා. එය 2024 වසරේ දී නිතීයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් බන්ධනාගාර තදබදය සහ ආහාර ගැටළුවට විසඳා ගැනීමට හැකි බව සඳහන් කල යුතුයි.

    මේ වන විට රැඳවියන් සඳහා වසරකට රුපියල් බිලියන 04ක වියදමක් දැරීමට සිදුව තිබෙනවා. රැදවියන් 12,000ක් සිටිය යුතු බන්ධනාගාර තුළ මේ වන විට රැදවියන් 30,793ක් සිටිනවා. මේ ගැටලුව විසඳීම සඳහා ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතයි.

    තව ද 2023 වර්ෂයේ දී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2024 වර්ෂය සඳහා අපේක්ෂිත ලාබය රුපියල් 92572967.00ක් වනවා.

    ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා යොමු වී බන්ධනාගාරගත කර සිටින රැදවියන් සඳහා නිවැරදි පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට මෙන්ම නිපුනතාවයක් ලබාදිය යුතු වනවා. ඒ සඳහා පැවති ප්‍රජාවිශෝධන ක්‍රමවේදය වඩාත් සක්‍රීය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදුකල වැඩසටහන් සඳහා 2023 වසරේ දී පුද්ගලයින් 14,026ක් යොමු කළා. එම ප්‍රමාණය 2024 වසරේ දී 15,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වනවා.

    ඒ වගේම මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගර සඳහා යොමු කර සිටින රැදවියන් පුනරුත්තාපනය කිරීමට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි 22ක් සහ අක්කර 22ක භූමි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ අක්කර 06කින් යුත් කාන්තා පුනරුත්තාපන ඒකාබද්ධ මධ්‍යස්ථානයක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

    තවද අධිකරණය සහ මහජනතාව සමඟ සහසම්බන්ධතාවය වර්ධනය කිරීමට සෑම ග්‍රාමසේවා වසමකම සංහිඳියාව සඳහා කමිටු පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සර්වාගමික උපදේශක මණ්ඩල පිහිටුවීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

    එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බෝවන රෝග සඳහා වෙන්කර තිබූ මඩකලපුව මාන්තිව් දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවය පළකර තිබෙනවා. එය පුනරුත්ථාපන සහ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya