අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

    මාර්තු 14, 2024

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

    පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණ, සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඉදිකිරීම් සේවා ප්‍රවර්ධනය කිරීම, විකල්ප අරමුදල් සම්පාදනය සහ කොන්ත්‍රාත් උපදේශන ගැටළු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතන ප්‍රධානීහු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරගකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය (National Chamber of Coconut Industry Sri lanka) පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.

    පොල් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණු අතර ක්ෂේත්‍රයේ නියුතු වූවන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

    භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පොල් කර්මාන්තය හා සම්බන්ධ සියලූම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතනවල ප්‍රධානීහු සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya