නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට සහන ලබා දිය හැක්කේ ආර්ථික සංවර්ධනය තුළින් පමණයි- වරාය සහ ගුවන් සේවා අමාත්‍ය

    නොවැම්බර් 15, 2023

    රටට සහන ලබා දිය හැක්කේ ආර්ථික සංවර්ධනය තුළින් පමණක් බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙවර අයවැය කැඩී බිඳී ගිය ආර්ථිකය නැවත ගොඩ නැගීමට ගත් ශක්තිමත් තීරණයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

    2024 අයවැය විවාදයේ දෙවන දිනය වන අද දිනයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසීය.

    පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ,රාජ්‍ය ග්‍රහණයෙන් එවැනි පුද්ගලික ආයතන නිදහස් කළ යුතු බවයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවත් , අනෙකුත් ආයතන සම්බන්ධයෙනුත් එම තීරණ ගැනීමට කිසි විටෙකත් මැලි නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. ආණ්ඩුවට බිස්නස් කරන්න බැහැ. එවැනි ආයතන ලාබ ලබන්න පුළුවන්. එම ආයතන ලාබ ලැබුවත් එම ආයතන රජයේ බරින් අයින් කළ යුතුයි.මේ තමයි ලෝකය පිළිගන්න ආර්ථික න්‍යාය. අයි එම් එෆ් එකට ගියා නම් අපි මේවට අනුගත විය යුතුයි. එය තමයි ආර්ථික න්‍යාය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    අද හුගක් දෙනෙකුට මතක නැහැ අපි කොහෙද හිටියේ කියලා. එදා මාර්තු මාසයේ පටන් ගත්තු අරගලය නිසා වරායට ආපු නැව් 22ක් හරවල යැව්වා. ආර්ථිකය හදන්න නම් මුලින්ම දේශපාලන සහ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කර ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එදා පාර්ලිමේන්තුව ආරක්ෂා කර නොගත්තා නම් අපට පොර ටෝක් දාන්න පාර්ලිමේන්තුවක් නැතිව යනවා. නමුත් කෘතහස්ත දේශපාලක්ඥයෙක් ඇවිත් පාර්ලිමේන්තුව බේර ගත්තා. මම කියන්නේ නැහැ IMF එක සාධාරණයි කියලා. අයි එම් එෆ් යන එක සාධාරණ නැති වුණත් අපට වෙන විකල්පයක් නැහැ. ඔවුන් අපිව මිරිකුවා වැඩියි. ඔවුන් අපේ විදිලි බිල වැඩි කළා. ජල බිල වැඩිකළා. ඒවා අයිඑම්එෆ් කොන්දේසි. රටේ තිබෙන ආරර්ථික ස්වභාවය බලල තමයි අයිඑම්එෆ් කටයුතු කරන්නේ. නමුත් ඒ ගැන කියමින් ජනතාව මුලා කරන්න එපා. ඔබලා ආව කියලා කරන්න වෙන වැඩපිළිවෙළක් නැහැ. මෙම වැඩපිළිවෙළම තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. තාවකාලික දේශපාලන වාසි සොයා ගෙන කතා කරන්න එපා.

     අපේ ආර්ථිකයේ ගමන් මග මෙවර අයවැයෙන් පැහැදිළි කරල තිබෙනවා. පෞද්ගලික අංශයේ දායකත්වය ගැන මෙම අයවැයේ පැහැදිළිව තිබෙනවා. මෙවර අයවැයෙන් සමාජ සුභ සාධනය අමතක කර නැහැ. ප්‍රාෙද්ශීය සංවර්ධනය, ආර්ථිකය, වතුකර සංවර්ධනයට මුදල් යොදවා තිබෙනවා. ඒ වගේම තමයි ඉඩම් අයිතිය සහ නිවාස හිමිකිම. කොළඹ නිවාස වල ජනතාවට එම නිවාස වල අයිතිය ලබා දී තිබෙනවා. තමා ජීවත් වන බදුල්ල දිස්ත්‍රික්කයේ මහ රෝහලට හෘද ඒකකයක් ලබා දීම සම්බන්ධයෙන්ද තමා ස්තුතිවන්න වන බව හෙතෙම කීය.

    ඉතා ඉක්මනින් රේගුවේ දූෂණය වලක්වන්න ඕන. එමගින් අදායම වැඩි කරගැනීමට හැකි වේවි. ආදායම් බදු අයකර ගැනීමේ ක්‍රමය සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා ප්‍රශංසාත්මකව කතා කළා. ආදායම් බදු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කරන්න ඕන. මේ සඳහා වඩාත් කාර්යක්ෂම නිලධාරින් පත් කරන්න ඕන.අපි කොතරම් තීන්දු තීරණ ගත්තත් රාජ්‍ය සේවයත් මේ සඳහා අනුගත විය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya