මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මෙතෙක් අඩුපාඩුවක් පැවති විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම උදෙසා මුල්ගල තැබීම ද උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
රුසියානු රජය හා එහි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරු දැරියන් 7 දෙනකු, ගුරුවරුන් දෙදෙනෙකු සහ දෙමාපියන්ගෙන් නියෝජිතයකුට රුසියාවේ තෙමසක අධ්‍යාපන චාරිකාවක් සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමි කර දී තිබෙනවා. මා විසින් කල ඉල්ලීමකට අනුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සම්බන්ධීකරණය තුළින් මෙම සංචාරය සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ පිළිබඳ විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ රැස්වීමක් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මීට සමගාමීව රුසියානු අධ්‍යාපනික ග්රන්ථ එකතුවක් විද්‍යාලයේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීම ද එහිදී සිදු විය.
"එළඹෙන වසර මහින්ද රාජපක්ෂ විද්‍යාලයටත්, රටේම ජාතික අධ්‍යාපනයටත් පුළුල් වෙනසක් සිදුවන වසරක් බවට පත් වනවා. ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පූර්ණ වශයෙන් අද්‍යතන ලෝකයට ගැලපෙන අයුරින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කිරීමේ දස අවුරුදු සැලසුම සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව මෙතෙක් පැවති විභාග කේන්ද්‍රීය, සුපුරුදු අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ නවීන තාක්ෂණික ක්‍රමවේද හා දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන්ට සමගාමී අයුරින් ගුණ, නැණ, බල සපිරි විශ්වයට සම්පතක් වන දරු පරපුරක් බිහි කිරීමේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් ද පත් කර තිබූ අතර මාද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව මේ ක්ෂේත්රය පිළිබඳව විශේෂඥ දැනුමකින් යුතු සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් 2024 වසර අධ්‍යාපන ක්රමයේ දැවැන්තම හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන වසරක් බවට පත්වනවා.
දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල වශයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ටද එළැඹෙන වසර අතිශයින් සුවිශේෂි වසරක් බවට පත්වනවා. එළඹෙන වසරේදී නව විදුහල්පති තුමාගේ පරිපාලනය යටතේ විද්‍යාලයේ දෙවන සංවර්ධන යුගය ඇරඹීමට බලාපොරොත්තු වනවා. විද්‍යාලයේ සේවය කළ හිටපු විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විශාල කැපකිරීමක් සිදු කරමින් අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාලය ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ලංකාවේ ඉහළම ශිෂ්‍ය සංඛ්‍යාව වන 763 දෙනෙකු අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට කිසිදු ශිෂ්‍යයෙකු අසමත් නොවී උසස් පෙළට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු පාසලක් බිහි නොකළ වාර්තාවක් බිහිකිරීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් වුණා.
එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන සමයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කළේ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියයි.එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ මහාචාර්යවරියක් ලෙසද කටයුතු කළ ඇය ගම්පහ ආයුර්වේද විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු ආයුර්වේද විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. රුසියානු විශ්වවිද්‍යාල කීපයක සහයෝගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රුසියානු භාෂාව ඉගෙනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර දීමට ඇය අපට පොරොන්දු වී තිබෙනවා.
එහි ප්‍රථම අදියර ලෙස පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7 සමඟ ගුරුභවතුන් දෙදෙනෙකු සහ දෙමව්පියන් අතරින් කෙනෙකුට මාස 3ක කාලයක් සඳහා රුසියාවේ අධ්‍යාපන චාරිකාවකට අවස්ථාව හිමිවීම මෙම විද්‍යාලයේ දරුවන්ට හිමි වූ සුවිශාල භාග්‍යයක් ලෙස මා සලකනවා. ලෝකයේ අති දැවැන්ත රටක් ලෙසත්, ශ්‍රී ලංකාවට වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන රටක් ලෙසත් රුසියාවේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහාත් මේ ඇතිවන සම්බන්ධය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මා විශ්වාස කරනවා.
එමෙන්ම චීන රජයේ කොන්පියුසස් ආයතනය විසින් චීන භාෂාව ඉගැන්වීම සඳහා ගුරුභවතුන් දෙදෙනෙකු ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට චීන භාෂාව හැදෑරීමට ද මෙම විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව හිමිවනවා. අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් සිසුන්ගේ හෙට දවස සාර්ථක කිරීම සඳහා සිංහල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව පමණක් හැදෑරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ජපාන, චීන,කොරියානු, ප්‍රංශ,රුසියානු ඇතුළු භාෂාවන් වැඩිම ප්‍රමාණයක් උගන්වන පාසල බවට මෙම පාසල පත් කිරීමට එළඹෙන වසරේදී කටයුතු කරනවා."
මෙහිදී අදහස් දැක්වූ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා විද්‍යාලයේ දරු දැරියන්ගේ උන්නතිය වෙනුවෙන් ලබාගත හැකි සෑම අංශයකම සහයෝගය දායකත්වය ලබා ගනිමින් අවස්ථාවන් රැසක් උදා කර දුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෙහෙවර විශේෂ අගය කිරීමකට ලක් කළේය.
මෙම අවස්ථාව සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, හෝමාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.