විශේෂයෙන් මුහුදු ජලය පිරිසිදු කර සැපයීමේදී පාරිභෝගිකයාට විශාල මුදලක් ගෙවීමට සිදුවන නිසා, දැනට ඇති 40,000ක් වන වැව් සංවර්ධනය කිරීමටත්, වැසි ජලය එකතු කිරීමේ ක්‍රමයන් - මුහුදට ගලායන ගංගා ජලය එකතු කරගැනීම මෙන්ම ගංවතුරට මුහුණ දෙන ප්‍රදේශ රැකගැනීමටත් කටයුතු කරන බවත්, ඔහු කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
"ඒ වගේම මම සඳහන් කරන්න කැමැතියි උතුරුකරයේ මන්ත්‍රීතුමන්ලාට, විශේෂයෙන් ඔබතුමා අද නඟන ප්‍රශ්නයේ, උතුරුකරයේ දැඩි පානීය ජල හා ජල ප්‍රශ්නයකට මුහුණ දෙමින් පවතිනවා. ඒ අනතුරුදායක තත්වය වෙනස් කිරීමට the river to Jaffna කියන ප්‍රතිපත්තිය, මහාචාර්ය ආරුමුගන් මැතිතුමා කලින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ගැනද සාකච්ඡා කරමින් පවතිනවා, අපේ ඉංජිනේරුවන් හා මෙම ආයතන සමග. මොකද අපි වෙනත් ආකාරයකට ජලය පිරිසිදු කර, විශේෂයෙන් මුහුදු වතුර පිරිසිදු කර සැපයීමට යාමෙන් විශාල මුදල් ගෙවීමට පාරිභෝගිකයාට සිදු වේ කරුණු අනුව නිසා. මම හිතනවා, මීට අතිරේකව ඇමතිතුමාට තවත් අතිරේකව ජල සම්පාදන මණ්ඩලයේ හෝ දැනට තිබෙන වැව් 40000ක අපට සංවර්ධනය කරන්න පුළුවන් තත්වයකට හා ජලය රැස් කරන්න පුළුවන් තත්වයන් ගැන. ඒ වාගේම වැසි ජලය එකතු කරන්නට පුළුවන් ක්‍රියාදාමය ගැන සහ ගංවතුරවලට මුහුණ දෙන ප්‍රදේශ හා මහා වැසි වැස ආපහු ගංගාවලට හා මුහුදට ගලා යන ක්‍රමවලට අපට මුහුණ දෙන්න පුළුවන් නව ක්‍රමවේදයන් ගැනද, අපේ උරුමය අනුව සැකසී තිබෙන මේ ක්‍රියාදාම යළි සාකච්ඡාවට අපේ අමාත්‍යාංශ විසින් ලක් කර තිබෙනවා."
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී 'අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න' යටතේ විජිත හේරත් මන්ත්‍රීවරයා විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම ප්‍රශ්න සහ පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය 01; "මෙරට සමස්ත ජල පරිභෝජනයෙන් ගෘහ කටයුතු, ආර්ථික නිෂ්පාදන සහ සේවා කටයුතු සඳහා 12% ක් ලබා ගන්නා අතර ඉතිරි 88% කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කෙරෙන බව ආණ්ඩුව පිළිගන්නේද?"
පිළිතුර;
"ශ්‍රී ලංකාවේ සමස්ත ජල පරිභෝජනය පහත පරිදි වර්ගීකරණය කළ හැක.
කෘෂිකාර්මික භාවිතාවන් සඳහා - 87.37% ක්
ගෘහස්ථ පරිභෝජනය පිණිස - 6.22% ක්
කාර්මික අංශවල පරිභෝජනයට - 6.41% ක්"
ප්‍රශ්නය 02; "රටේ ග්‍රාමීය ගෘහස්ත ජල අවශ්‍යතා වලින් 80% ක් පමණ ළිං සහ නළ ළිං මඟින් මේ වන විට මිලක් ගෙවීමෙන් තොරව පරිභෝජනය කරන බව ආණ්ඩුව පිළිගන්නේද?"
පිළිතුර;
"• මේ වන විට රටේ ග්‍රාමීය ගෘහස්ථ ජල පරිභෝජන අවශ්‍යතා වලින් 35.7% ක් ආරක්ෂිත ළිං, නළ ළිං අත්පොම්ප හා වෙනත් මූලාශ්‍ර හරහා පරිභෝජනය කරනු ලබන අතර, ඒ සඳහා ජලය පරිහරණය කරන පාර්ශව විසින් කිසිඳු මිලක් ගෙවනු නොලැබේ.
•ජල සම්පාදන ක්‍රම ඔස්සේ පිරිපහදු කොට බෙදා හරිනු ලබන ජලය සඳහා එම පාරිභෝගිකයන් විසින් භාවිතා කරනු ලබන ප්‍රමාණ මත පදනම්ව ගෙවීමක් සිදු කරන බව අපි කවුරුත් දන්නා කරුණක් වන අතර, 12.37% ක පමණ ප්‍රතිශතයක් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් පිරිපහදු කිරීමකින් තොරව ක්‍රියාත්මකවන ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මඟින් සපුරාලනු ලබයි. 46.6% ක ප්‍රතිශතයකින් යුත් ජල පරිමාවන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පිරිපහදු කොට බෙදා හරිනු ලබයි.
•ඉහත මවිසින් ඉදිරිපත් කළ දත්ත මත පදනම්ව, රටේ ග්‍රාමීය ගෘහස්ථ ජල පරිභෝජන අවශ්‍යතා වලින් 80% ක් පමණ ළිං සහ නළ ළිං මඟින් පමණක් පරිභෝජනය සඳහා කිසිසේත් යොදා ගනු නොලබන බව ඉතා පැහැදිලිව මම මේ සභාවට කියන්න කැමතියි.
•කනගාටුවට කරුණ වන්නේ රජය විසින් විශාල පිරිවැයක් දරමින් පිරිපහදු කරන පානීය ජල අවශ්‍යතාවලින් විශාල ප්‍රතිශතයක් පාරිභෝගිකයින් විසින් වාහන සේදීම හා උද්‍යාන යනාදිය සඳහා යොදා ගැනීමයි."
ප්‍රශ්නය 3;
"ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් පුරවැසියන් ළිං සහ නළ ළිං වලින් ලබා ගන්නා ජලයට අමතරව නළ මාර්ගයෙන් සපයන පානිය ජලය වෙනුවෙන් දැනටමත් ගාස්තු ගෙවන බවත් ආර්ථික නිෂ්පාදන කටයුතු සහ සේවා කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ජලය වෙනුවෙන් ගාස්තු ගෙවන බවත් ආණ්ඩුව පිළිගන්නේද?"
"•ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරිනු ලබන පිරිපහදු කල නළ ජලය සඳහා භාවිතා වන ප්‍රමාණයන් පදනම් කොට ගාස්තු අය කරන බවත්, එහෙත් එම ගාස්තු අවම වශයෙන් පිරිවැය නිරූපිත ගාස්තුවක් හෝ නොවන බවත් අප කවුරුත් පැහැදිලිව දන්නා කරුණකි.
•එසේම, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් නිවෙස් වෙත ලබාදෙනු ලබන ජලය, එම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති කළමනාකරණ ග්‍රාමීය කමිටු විසින් ගාස්තු අය කිරීම හෝ නොකිරීම, ගාස්තු අය කරන්නේ නම් එම ගාස්තු ප්‍රමාණය අදාළ ජල පාරිභෝගිකයන්ගෙන්ම සැදුම් ලත් ප්‍රජා මූල සංවිධාන මඟින් තීරණය කරනු ලබන අතර, ඊට රජයේ කිසිඳු මැදිහත් වීමක් සිදු කරනු නොලබයි.
•වාණිජ අරමුණින් භාවිතා කරන විශාල ජල පරිමාවන් සඳහා මෙන්ම කාර්මික කටයුතු සඳහා භාවිතා කෙරෙන ජලය ගාස්තු අය කිරීම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පනවා ඇති නිර්ණායක වලට අනුකූලව ඉතා දීර්ඝ කාලයක සිට අය කිරීම් සිදු කරනු ලබයි."
ප්‍රශ්නය 04;
"එසේනම් 'ජල වෙළඳ පොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම' තුළ ගෘහස්ථ ළිං සහ නළ ළිං මඟින් පෞද්ගලිකව ලබා ගන්නා ජලය වෙනුවෙන් ගාස්තු අය කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත් අදහස් නොවන්නේද?"
පිළිතුර;
"•නැත
•එවැනි කිසිඳු අදහසක් රජයට නොමැත.
•දැනටමත් ගාස්තු අය කරනු ලබන වාණිජ හා කාර්මික කටයුතු සඳහා භාවිතා කරනු ලබන පිරිපහදු නොකල ජලය භාවිතාවේ දී වඩාත් විධිමත් ලෙස අදාල එක් එක් කර්මාන්ත සඳහා වඩාත් ඵලදායී අයුරින් ජලය පරිහරණ කිරීම සහතික වන අයුරින් ක්‍රියාත්මක වන ගාස්තු ක්‍රමයක් දියත් කිරීමට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ."
ප්‍රශ්නය 05;
"එසේ නම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා 88% ක් වූ ජල ප්‍රමාණය වෙනුවෙන් වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසුබිම් සකස් කරමින් සිටින්නේද?"
"•නැත
•එසේ කිරීමට කිසිඳු අදහසක් නොමැත.
•මේ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත්ව නොමැත.
•දැනටමත් අනුගමනය කරන ක්‍රමවේදවලට අනුකූලව ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිරියේදී ජලය නිකුත් කිරීමේ දී ද එලෙසින්ම කටයුතු කෙරෙනු ඇත."
ප්‍රශ්නය 06;
"මෙරට ජලය වෙළඳ භාණ්ඩයක් කිරීමට අදාළව ලොව පුරා කටයුතු කරමින් සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ සහය ලබා ගැනීමට නැවත වරක් තීරණය කර තිබෙන්නේ කවර පදනමින්ද?"
පිළිතුර;
"අප සියළු දෙනාම හොඳින් දන්නා පරිදි ශ්‍රී ලංකාව, දේශගුණික විපර්යාසවලට බරපතල ලෙස මුහුණ දී සිටින රටවල් දහයට අයත් රටක් වන බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන අධික වර්ෂාපතනය, දැඩි නියං තත්වයන් යන අහිතකර දේශගුණික බලපෑම ද්විත්වයටම මුහුණ දෙමින් සිටිමු. එබැවින් මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා දේශගුණික විපර්යාස සහ ජල කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් ඇති ආයතන සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍යතාවය පරිදි විෂය සම්බන්ධ ප්‍රවීනයන්ගේ සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතනවල දායකත්වය ලබා ගැනීමට වඩාත් ප්‍රායෝගික භා යතාර්ථවාදී බව නිරීක්ෂණය කරමි. ඒ අනුව,
- දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය,
- ශ්‍රී ලංකා දේශගුණික අරමුදල සමාගම (රජය සතු)
-ලෝක වන අධ්‍යයන ආයතනය (ICRAF), ලෝක ආහාර වැඩසටහන (WFP), ලෝක දේශගුණික අරමුදල (GCF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP), තිරසර සංවර්ධන සභාව (SDGNC), ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) වැනි ආයතන මෙන්ම අවශ්‍යතාව පරිදි වෙනත් විශේෂඥ ආයතන වල සහය ලබා ගැනීමට හැකියාව ඇත."