නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු පොහොර හිඟයක් නෑ- කෘෂි ඇමති

    නොවැම්බර් 08, 2023

    යුරියා ඇතුලු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් සිදු කරන ප්‍රකාශ සමහර මාධ්‍ය ඔස්සේ විකාශය වුවත් කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මගින් හා පුද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබේ. රජය ගොවීන්ට පොහොර මිල දී ගැනීම සදහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා ඇත.


    මුදල් උපයෝගී කර ගනිමින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම රජයේ පොහොර සමාගම් දෙක විසින් රුපියල් 9000ක මිලකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් අලෙවි කරන අතර පුද්ගලික අංශය මේ වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 8500ක් දක්වා අඩු කර ඇත.


    දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සැපයීම සිදු කර ඇති අතර පොහොර කිසියම් ප්‍රදේශයකට හෝ ස්ථානයකට ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දිය හැකි බවත් ඒ අනුව එවැනි හිඟයක් පවතින්නේ නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    මෙවර මහ කන්නයේ දී යුරියා හා බන්ඩි පොහොර රජය හා පුද්ගලික අංශය මගින් සපයන අතර මඬපොහොර පුද්ගලික අංශය මගින් සැපයීමට පියවර ගෙන තිබේ.


    එමනිසා රට තුළ හිඟයකින් තොරව යුරියා හා අනෙකුත් පොහොර සැපයීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් පොහොර හිඟයක් ඇතැයි කියමින් ගොවීන් අකර්මණ්‍ය කිරීමේ කටයුතුවල නිරතව සිටින බව පෙනී යන බවත් කෘෂිකර්මාන්තය උදෙසා රජය දැනට පවතින මුල්‍ය අපහසුතා මධ්‍යයේ වුවද අවශ්‍ය සහයෝගය පළ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya