මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම විසඳුමයි- රටේ දී නිපදවිය හැකි සෑම භාණ්ඩයක්ම නිපදවීමට උත්සාහ කළ යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 25, 2023

    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම මෙම අවස්ථාවේ එකම විසඳුම බවත්, රටේ දී නිපදවිය හැකි සෑම භාණ්ඩයක්ම නිපදවීමට උත්සාහ දැරිය යුතු බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතිකැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    නිමි භාණ්ඩ ආනයනය සඳහා අප රට විශාල වශයෙන් විදේශ විනිමය වැය කරන රටක් බව කියා සිටි අමාත්‍යවරයා සහල්, අල, ලූණු, මිරිස්, පරිප්පු ආදී වූ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරන බවද සඳහන් කළේය.

    ආනයනය මත අප රටට විශාල වශයෙන් රඳන්නට නොහැකි වී ඇත්තේ ආනයනය කිරීමට අවශ්‍ය තරම් ඩොලර් සංචිතයක් නොහොත් විදේශ විනිමය ප්‍රමාණයක් අප සතුව නොමැති වීම නිසා බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    ඉතා විශාල විදේශ විනිමය සහ ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඇති අවස්ථාවක රට බංකොලොත් වීම සඳහා බලපා ඇති ප්‍රධානම හේතූන් දෙකෙන් එකක් වශයෙන් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අඛණ්ඩව පවතින හිඟය පෙන්වාදිය හැකි යැයිද අමාත්‍යවරයා පැවසුවේය.

    එලෙස අඛණ්ඩව පවතින හිඟය ඇති වීමට ප්‍රධානතම හේතුව ආනයන වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් අපනයන ආදායමක් අපට නොලැබීම බවද කියා සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, අපට අවශ්‍ය ආනයනයන් සිදුකිරීමට මෙරටින් තේ, රබර්, පොල්, මැණික් ආදී ද්‍රව්‍ය අපනයනය කර ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

    මෙය බෙහෙත්, පොහොර, රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ආහාරපාන යනාදිය ගෙනඒමටද ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් පැවසුවේය. අපගේ ජංගම ගිණුමේ හිඟයක් ඇතිවූ සෑම අවස්ථාවකම විදේශයන්ගෙන් ණය ලබාගනිමින් හිඟය පියවාගත් බව සිහිපත් කළ අමාත්‍යවරයා තවදුරටත් ණය ලබාගැනීමට නොහැකි වූ විට ණයවර ලිපි නිකුත් කරමින් කවුරු ආණ්ඩු කළද ලංකාවට භාණ්ඩ ගෙනඒමට නොහැකි තත්ත්වයක් උදාවන බවද අවධාරණය කළේය.

    මෙය යතාර්ථවාදී තත්ත්වය වන බවද එමනිසා නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම මෙයට විසඳුම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya