නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසායකයින් දහසක් සවිබල ගැන්වීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් ජාතික වැඩසටහනක්

    මැයි 04, 2023

    කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහයෝගීතාවයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), විදාතා ඒකකය හා එක්ව දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට  ඇත.

    FOUR I (4 I) ලෙසින් නම් කර ඇති මෙම ජාතික වැඩසටහන මඟින් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර, කළමණාකරණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් සංවර්ධනය කර එම ව්‍යාපාර ප්‍රතිනිර්මාණය කිරීම සිදුකරයි.

    මෙම ජාතික වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගීතාවයෙන් යුතුව තෝරාගත් ව්‍යවසායකයින් සියදෙනෙක් සඳහා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රදානත්වයෙන් (3) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

    මෙම ජාතික වැඩසටහන වසර 3 ක් සඳහා සැලසුම් කර ඇති අතර මෙමඟින් ව්‍යාපාර වල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආයතනයේ මූල්‍ය විනය හා මූල්‍ය පරිපාලනය ඇති කිරීම, නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, තරඟකාරී වෙළඳපලෙහි ස්ථාවරත්වය ඇති කිරීම, දේශිය හා විදේශීය වෙළඳපළ අවස්ථා සලසා දීම, සේවක කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, සේවා ස්ථානයේ සුරක්ෂිතභාවය ඇති කිරීම, ව්‍යාපාර සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ.

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සඳහා මේ වන විට රාජ්‍ය ආතන 35 ක් පමණ සක්‍රීය දායකත්වය සපයයි. ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපාර වලින් 98.4% ක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වන අතර ලංකාවේ රැකියා වෙළඳපලින් 45% ක ප්‍රමාණයක් සංතෘප්ත කරන්නේද මෙම අංශය විසිනි.  දේශීය වෙළඳපළ පමණත් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විදේශ වෙළඳ පළ වෙත යොමු කිරීම FOUR I ජාතික වැඩසටහනේ මූලික අරමුණ වේ.

    මෙම FOUR I ජාතික වැඩසටහන සදහා කාර්මික සංවර්ධන මණ්ඩලය , අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව යන ආයතන වල ඒකාබද්ධ සහයෝගීතාවය එක්කොට තිබෙයි.

    මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  ඒ. ලක්කදාස් , ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම, ව්‍යවසායකයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya