මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැඳවියන්ගේ සුවදුක් විමසීමට වීඩියෝ තාක්ෂණය

    පෙබරවාරි 17, 2023

    රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බවත් වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින්ට විදේශ රැකියා සදහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට ඊයේ (16) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    පස් අවුරුදු සැළැස්මක් අනුව ප්‍රධාන යෝජනා නවයක් යටතේ මෙරට බන්ධනාගාර පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරමින් ඇති බවත්, බන්ධනාගාර තුළ සිට සිදු කරමින් පැවති වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම , ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු පාලනය කරමින් සමස්ත බන්ධනාගාර පද්ධතියම ප්‍රතිසංවිධානයට ලක් කර ඇති බව කොමසාරිස්වරයා පැවසීය.

    පෞද්ගලික අංශයේ සහාය ලබා ගනිමින් වෘත්තිමය කුසලතාවලින් පරිපුර්ණව බන්ධනාගාර රැඳවියන්ගේ තත්වය උසස් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ තුළින් රැදවියන්ගේ දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සදහා ආදායම් මාර්ග උපයා ගැනීමේ හැකියාව පවතින බවත්, සුළු වැරදි සදහා බන්ධනාගාරගතව සිටින රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියේ රඳවා තැබීමේ ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර, ඒ සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද හෙතෙම පැවසීය.

    බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැකි වන පරිදි E VISIT සංකල්පය හදුන්වා දී ඇති බවත්, බන්ධනාගාර වෙබ් අඩවියට යොමු වී ලියාපදිංචිවීම තුළින් රැදවියන් බැලීමට වේලාවක් දින දෙකක් තුළ වෙන් කර ගැනීමේ පහසුකම පවතින බවත්, බන්ධනාගාරගත රැදවියන්ගේ බන්ධනාගාරගත කාලය දීර්ඝ කිරීමේදී දින ලබාගැනීමට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හා යහපත් කල් ක්‍රියාවෙන් යුතුව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින රැදවියන් සම්බන්ධව කටයුතු කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අනුව ඔවුන් නිදහස් කිරීමට හා දඩුවම් කාලය අඩු කිරීමට කටයුතු කරන බවත්, කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

    බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිමයභාවය ඉහළ නැංවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සදහන් කළ කොමසාරිස් ජනරාල්වරයා පුනරුත්ථාපන ක්‍රියාවලිය හා සම්බන්ධව සිටින සෙසු ආයතන නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් ඒ සදහා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා යෝජනා කර ඇති බව ඒ මහතා පැවසීය.

    වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින් විදේශ රැකියා සදහා පුහුණු කරවමින් ඒ සදහා යොමු කිරීමට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සමග කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී එවැනි තරුණයින් 50 දෙනෙකු පමණ ඒ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, බන්ධනාගාර රැදවියන්ගේ වෘත්තිමයභාවය උසස් කිරීම සදහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මෙරට පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින බවත්, හෙතෙම කීවේය.


    බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් බන්ධනාගාර රැඳවියන් නඩත්තු කිරීම වෙනුවට රැඳවියන්ගේ ශ්‍රමය වැය කරමින් උපයන ලද මුදල් වියදම් කරමින් බන්ධනාගාර පද්ධතිය පවත්වා ගෙන යාමේ වැඩපිළිවෙලකට යොමු වෙමින් පවතින අතර, වාර්ෂිකව බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර සදහා වියදම ලෙස රුපියල් බිලියන 4.7 ක් හා බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 11 ක් වැය බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
    අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී.අබේකෝන් මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya