මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු රාජ්‍ය ආයතනවල ගෙවීම් සහ අය කිරීම් සඳහා ඩිජිටල් හා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැපයීම අනිවාර්ය කිරීමේ සැලැස්මක්

    පෙබරවාරි 14, 2023

    රාජ්‍ය අංශයේ සියළුම ආයතන වල ගෙවීම් සහ අය කිරීම් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැලසීම අනිවාර්ය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගන්නා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි.

    තාක්ෂණ අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි. මහජනතාවට, රාජ්‍ය ආයතන වෙත ගොස් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල විද්‍යුත් ගෙවීම් (Electronic Payment) සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් බොහෝ රාජ්‍ය ආයතන වල නොමැති බව හඳුනා ගෙන තිබේ. මුදල් ගනුදෙනු කිරීමේ දී රාජ්‍ය ආයතන තවදුරටත් රිසිට් පත් නිකුත් කරනු ලබන්නේ අතින් ලිවීමෙන් වන අතර එය, අවිදිමත් හා කාලය ශ්‍රමය අපතේ යන ක්‍රියා වලියකි. ඒ අනුව රාජ්‍ය ආයතන වල විද්‍යුත් ගෙවීම් පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රමුඛ අරමුණක් වී තිබේ.

    2023 අයවැය මඟින් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන අතර ඒඅනුව ඉදිරියේදී රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් සහ අයකර ගැනීම් සදහා ELECTRONIC PAYMENT පහසුකම සැලසීම අනිවාර්ය කෙරෙනු ඇත. මේ යටතේ සියළු රාජ්‍ය ආයතන සඳහා එළඹෙන ජූලි මාසය වන විට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ මහතා සඳහන් කරයි.

    මීට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම මෙන්ම අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා තීරණ ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන තිබෙන බවද ජනක සම්පත් ගීකියනගේ මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ද ඉදිරියේදී තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    (ELECTRONIC PAYMENT) විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදය පෞද්ගලික අංශයේ සේවා අංශ වල දැනටමත් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය අංශයේ සීමිත ආයතන සංඛ්‍යාවකද ක්‍රියාත්මකය. වාහන ආදායම් බලපත්‍රය, උප්පැන්න, විවාහ, මරණ යන සහතික දැනටමත් විද්‍යුත් ගෙවීම් මඟින් නිවසේ සිටම ලබා ගැනීමට පහසුකම් සැලසී ඇත. එම සේවාව තවදුරටත් පුළුල් කරමින් ජනතාවට සිය සේවාවන් ලබා ගැනීමේදී ඒ ඒ රාජ්‍ය ආයතන වලට අවශ්‍ය ගෙවීම් විද්‍යුත් මාර්ගයෙන් පමණක් සිදු කිරීම සඳහා පුරවැසියන් දැනුවත් කිරීමට සහ උනන්දු කරවීමට මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දෙයි.

    මෙහිදී ජනතාවට සේවාවන් ලබා ගැනීම නිවසේ සිටම සිදුකර ගැනීමට හැකි වන බැවින් අනවශ්‍ය කාලය වැය කිරීමක් ද සිදුනොවේ. තවද මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණය අවම කර ගැනීමටද මෙහිදී හැකිවනු ඇත. ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැඟීමේ වැඩපිළිවෙල යටතේ අනාගතයේ මෙරට රාජ්‍ය අංශයේ සියළු ගනු දෙනු විද්‍යුත් ගෙවීම් ලෙස ක්‍රියාත්මක කිරීම තාක්ෂණ අමාත්‍යාංශයේ අභිලාෂය බව ද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.

    තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙම වැඩසටහන සියළු රාජ්‍ය ආයතන වෙත නිල වශයෙන් නිකුත් කිරීමටත්, 2024 මාර්තු 1ට පෙර එය සියළු රාජ්‍ය ආයතන තුල ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සෑම පියවරක් ම ගන්නා බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya