මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිල සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට පෙර සාකච්ඡා කරන්න- ජාතික සභාව නිලධාරීන්ට දැනුම් දෙයි

    පෙබරවාරි 14, 2023

    විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව 15 වැනිදා  අවසන් තීරණය ගැනීමට පෙර, විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව සාකච්ඡා කරන ලෙස, ජාතික සභාව නිලධාරීන්ට දැනුම් දෙයි.

    විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමුවී සාකච්ඡා කරන ලෙස ජාතික සභාව (13 දින) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඒ අනුව (13දින) පස්වරුවේ හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමට දෙපාර්ශවයේ නිලධාරීහු එකඟත්වය පළ කළහ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව(13දින) රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුවිය.

    විදුලි බල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩිකිරීමට අවසර නොලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය. ඒ අනුව ඉදිරියේදී ගල්අගුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක්ද පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන්පවසා සිටියේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම් දීම සදහා මේවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි. විදුලිබල මණ්ඩලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ වන ලබා ගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවත් මෙම සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකළ බවත් මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියාය.

    මෙම අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන දෙපාර්ශවයේම අදහස් සාකච්ඡා කොට එක් මතයකට පැමිණ තීරණයක් ගැනීම වඩා වැදගත් බවත්, නොඑසේනම් ජනතාව පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවත් පෙන්වා දුන් ජාතික සභාව කඩිනමින් ඒ පිළිබදව සාකච්ඡා කොට තීරණ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

    එසේම කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව මගින් යෝජනා කර ඇති ‘ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව’ පිළිබදව එම අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික සභාව දැනුවත් ක‍රන ලදී. මේ පිළිබද සංකල්ප පත්‍රිකාව පිළියෙල කිරීම අවසන් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ජාතික සභාව හරහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,කංචන විජේසේකර, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන,සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, ඩී.වී. චානක, සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන,ඒ.එම් අතාවුල්ලා, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා ද මෙම අවස්ථාවට එක්විය.

    එසේම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල  මණ්ඩලයේ නිලධාරීහුද ජාතික සභාව හමුවට කැඳවා තිබිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya