මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් අංශය ගැන “මව්බිම” ලිපියට අධ්‍යක්ෂ ජනරාල් දුන් පිළිතුර

    අගෝස්තු 30, 2022

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් අංශය ගැන “මව්බිම” ලිපියට අධ්‍යක්ෂ ජනරාල් දුන් පිළිතුර

     

    මව්බිම දිනපතා පුවත්පතේ 2022. 08. 25 දින කලාපයේ On Point පිටුවේ පළ කරන ලද “ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ අංශය පිස්සන් කොටුවක්” යන හිසින් යුත් ලිපිය අසත්‍ය තොරතුරු, පදනම් විරහිත චෝදනා සහ ද්වේශ සහගත අවලාද ගැබ් කොට ගත්තක් බැවින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එකී ලිපියේ අඩංගු සාවද්‍ය ප්‍රකාශ කරුණු සහිතව ඛණ්ඩනය කරමින් 2022. 08. 26 දින මව්බිම කතුවරයා වෙත ලිපියක් යැවීය. ඒ ලිපිය පහත පළ කරමු.
    “ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ අංශය පිස්සන් කොටුවක්”

    උක්ත ශීර්ෂය යටතේ 2022.08.25 දින මව්බිම පුවත්පතේ On Point පිටුවේ පලකරන ලද ලිපිය කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.

    එම ලිපියේ අන්තර්ගතය මෙන්ම ශීර්ෂය ද අසත්‍ය හා පදනම් විරහිත කරුණු මත පිහිටා ද්වේෂසහගතව ගොනුකරන ලද්දක් බව ලියුම්කරු නඟා ඇති චෝදනා එකිනෙක විභාග කිරීමේදී මනාව පැහැදිලි වේ.

    මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම මාස අටක කාලයක් ප්‍රමාදවී ඇති බව ඔහුගේ පළමුවැනි චෝදනාවයි. එය අසත්‍යයකි. අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර නියමිත දිනට පෙර භාරදුන් හාර දහසකට(4000) අධික සියලුම අයැදුම්පත් සඳහා 2022.06.30 වනවිට හැඳුනුම්පත් නිකුත් කොට අවසන් කර ඇත. ඇතැම් මාධ්‍යවේදීන්ගේ හෝ මාධ්‍ය වෘත්තිකයන්ගේ නිසි පරිදි පුරවා නොතිබූ අයැදුම්පත් විශාල සංඛ්‍යාවක්, නැවත දැනුම්දීමෙන් අනතුරුව අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට සිදුවිය. ඊට අමතරව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අයැදුම්පත් නියමිත පරිදි ඉදිරිපත් කර තිබුනද අදාළ මාධ්‍ය ආයතනයෙන් ලැබිය යුතු තම ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බව තහවුරු කරන නාම ලේඛණය ලබාදීම ප්‍රමාදවීම නිසා ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද විය. ඇතැම් මාධ්‍ය ආයතන මේ වනතුරුත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ නාම ලේඛණ එවා නැත. මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය 2022.03.31 දිනෙන් අවසන් වුවද ඇතැම් මාධ්‍යවේදීහු හා මාධ්‍ය වෘත්තිකයෝ තවමත් අයැදුම්පත් ඉදිරිපත් කරමින් මාධ්‍ය හැඳුනුම්පත ලබාගැනීමට විවිධ පාර්ශ්ව හරහා බලපෑම් කරමින් සිටිති.

    දෙවැන්න, මෙවර නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතට අනවශ්‍ය තොරතුරු ඇතුලත් කර ඇති බවය. ඔබ පුවත්පත් ලිපියේ කියැවෙන, මාධ්‍ය හැඳුනුම්පතට අත්‍යාවශ්‍ය නොවන ආයතනික තොරතුරු කවරේදැයි පෙන්වා දී නැත. එසේ කළේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍යනම් නිවැරදි කිරීමට පිළිවන. මාධ්‍ය හැඳුනුම්පතට ඇතුලත් කළයුතු අත්‍යාවශ්‍ය තොරතුරු පමණක් මෙවර මාධ්‍ය හැඳුනුම්පතට ඇතුලත් කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

    මාධ්‍යවේදීන් භාවිත කරන නම වෙනුවට ජාතික හැඳුනුම්පතේ සඳහන් නම මාධ්‍ය හැදුනුම්පතට යොදා ඇති බවට කරනු ලබන සාක්‍ෂි විරහිත චෝදනාව තෙවැන්නයි. ඔබේ ලියුම්කරු අයැදුම්පත කියවා තේරුම් ගෙන නැති බව පෙනී යයි. අයැදුම්පතේ අංක 01 කොටුවේ අයැදුම්කරුගේ සම්පුර්ණ නම සඳහන් කළ යුතුය. හැඳුනුම්පතෙහි සඳහන් කරනු ලැබීමට අයැදුම්කරු කැමති නම දෙවැනි කොටුවෙහි සටහන් කළ යුතුය. පළමුවැනි කොටුවෙහි ඇතුළත් කර ඇති නම සහ දෙවැනි කොටුවෙහි ඇතුළත් කර ඇති නම අතර විශාල වෙනසක් නැත්නම් දෙවැනි කොටුවේ ඇතුළත් නම එනම් අයැදුම්කරු කැමති නාමය හැඳුනුම්පතේ සඳහන් කරනු ලැබේ. එබඳු විශාල වෙනසක් තිබේ නම් ජාතික හැඳුනුම්පතේ සඳහන් නම මාධ්‍ය හැඳුනුම්පතේ සටහන් කෙරේ. එය තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. උක්ත ලිපිය සම්පාදනය කළ ජේ.ටී. ද සිල්වා මහතා හැඳුනුම්පතේ සඳහන් කළ යුතු තමා කැමති නාමය ලෙස අයැදුම්පතෙහි දක්වා ඇත්තේ ජේ.ටී. ද සිල්වා යන්නය. එය එලෙසින්ම ඔහුගේ හැඳුනුම්පතේ සඳහන් කර තිබේ. එසේ තිබියදී සිල්වා මහතාගේ ප්‍රශ්නය කුමක්දැයි නොවැටහේ.

    පුවත්පතක් කියවන්නේ නැති ප්‍රායෝගික දැනුමක් නාමිකව හෝ නොමැති කාන්තාවක් පිරිසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් පිළියෙල කිරීමේ හා නිකුත් කිරීමේ අංශය තුළ සේවයේ යෙදවීම අර්බුදයට මුල් වී ඇති බවට කර ඇති චෝදනාව සිව්වැන්නයි. ලියුම්කරු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් අංශයේ කාර්ය මණ්ඩලය ගැන මෙබඳු තක්සේරුවකට එළඹියේ කුමන පදනමකින් දැයි පැහැදිලි නැත. පුරුෂෝත්තමවාදී දෘෂ්ටියකින් කාන්තාවනට පරිභව කිරීම මාධ්‍යවේදියෙකුට හෝ පුවත්පතකට හෝ තරම් නොවන බව අපි විශ්වාස කරමු. මා දන්නා පරිදි මෙම ලිපිය ලියන ජේ.ටී. ද සිල්වා මහතා ද කලක් රාජ්‍ය සේවයට සම්බන්ධව සිටි අයෙකි. රාජ්‍ය සේවයේ අත්දැකීම් යම් ප්‍රමාණයකට හෝ ලබා ඇති එවැන්නකු රාජ්‍ය නිලධාරීන් ‍පිළිබදව දරණ ආකල්පය කණගාටුදායකය. කෙසේ වුවද කාන්තා නිලධාරීන්ට අමතරව පිරිමි නිලධාරීන් ද මාධ්‍ය හැදුනුම්පත් අංශයට අනුයුක්ත කර ඇති අතර මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යයේ සම්පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ පිරිමි නිලධාරියෙකු විසින් ඉටුකරන බව අවධාරණය කරමි.

    කොන්ත්‍රාත් පදනම මත සේවය කරන මාධ්‍යවේදීන්ගේ තනතුර සඳහන් කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ තනතුරේ ස්වභාවය සටහන් කිරීම වැරදි සහගත බව පස්වන කරුණයි. එහි ඇති වරද තේරුම් ගැනීමට නොහැක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතේ සඳහන් කරනුයේ අදාළ මාධ්‍යවේදියාගේ කාර්යාලයීය හැඳුනුම්පතේ හෝ පත්වීම් ලිපියේ හෝ සඳහන් තනතුරය. ජනමාධ්‍ය හැඳුනුම්පතෙහි තමා කොන්ත්‍රාත් තනතුර දරන්නෙකු බව සඳහන් වීම සිය අභිමානයට කැළලක් යැයි ලියුම්කරු සිතන්නේ නම් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අවමන් කරනු වෙනුවට තමා සේවය කරන මාධ්‍ය ආයතනයට දැනුම් දී ඔහුට කැමති තනතුරු නාමය ආයතනය නිකුත් කරන කාර්යාල හැඳුනුම්පතේ ඇතුළත් කර ගත යුතුව තිබිණි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත අතැතිව ඇතැම් සිද්ධීන් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම් කර ඇති බැවින් මෙම හැඳුනුම්පතට පිළිගැනීමක් නොමැති බව හයවැනි චෝදනාවයි. ආරක්ෂක විධිවිධාන වලට ඉහළින් සිටීමට යම් මාධ්‍යවේදියෙකු උත්සාහ කරන්නේ නම් මෙම මාධ්‍ය හැඳුනුම්පත ඊට ආධාරයක් නොවන බව මම ද පිළිගනිමි. මෙම හැඳුනුම්පත දරන්නාට බාධාවකින් තොරව තම රාජකාරිය ඉටුකිරීමට සහායවන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අදාළ බලධාරීන්ගෙන් කරන ඉල්ලීමක් හැඳුනුම්පතේ සඳහන්ව ඇත. කෙසේ වුවද උක්ත ලිපිය සම්පාදනය කරන මාධ්‍යවේදීයාම මාධ්‍ය හැඳුනුම්පත කිසිදු පිළිගැනීමක් නැති ලියවිල්ලක් බව කියමින් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් මාධ්‍යවේදීන් දුෂ්කරතාවයට පත්ව ඇතැයි කම්පා වීම විහිලු සහගතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීනට බලහත්කාරයෙන් හැඳුනුම්පත් නිකුත් කරන්නේ නැත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදී හැඳුනුම්පත පලක් නැති දෙයක් නම් එය අයැදුම් නොකර සිටීමට සිල්වා මහතාට පූර්ණ අයිතිය තිබේ.

    හත්වැනි චෝදනාව මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා මාධ්‍ය ආයතනවලින් තොරතුරු රැස්කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශාල මුදලක් වැයකරන බවය. මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කිරීම සඳහා මාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිම වියදමක් නොකරන බව අවධාරණය කරමි. මේ ප්‍රකාශය තම ලිපිය දිගින් වැඩිකිරීම සඳහා යොදාගත් බොළඳ උත්සාහයකි. නිරවද්‍යතාව ජනමාධ්‍යවේදයෙහි ප්‍රථම සිල් පදය බව මේ ලියුම්කරු නොදනී.

    ජන මාධ්‍ය පෙන්වා දෙන දුර්වලතා හා අඩුපාඩු නිවැරදි කරගැනීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීම බව මම තරයේ විශ්වාස කරමි. එහෙත් මෙම ලිපියේ සඳහන් කරුණු හුදෙක් පදනම් විරහිතව ද්වේෂ සහගතව නිර්මාණය කරන ලද්දක් බව මගේ නිරීක්ෂණයයි. මව්බිම On Point පිටුව වෙන් කර ඇත්තේ පාඨක අදහස් උදහස් හා යෝජනා වෙනුවෙන් බව එහිම සඳහන්ව තිබේ. මව්බිම පුවත්පතේ කොන්ත්‍රාත් මාධ්‍යවේදියෙකු වන ජේ.ටී. ද සිල්වා මහතා තමා පාඨකයකු ලෙස ඇඟවෙන අයුරින් රජයේ ආයතනයකට පදනම් විරහිත චෝදනා නැගීම මාධ්‍ය සදාචාරයට පමණක් නොව සමාජ සදාචාරයටද පටහැනි බව අපි විශ්වාස කරමු. ඔහු තම ලිපියෙහි සඳහන් කර ඇති 'නාඩගම', 'මානසික ආබාධය', 'පිස්සු නටන' වැනි ශිෂ්ට භාෂණයට නොසරිලන නින්දාලාප අපි ඔහුටම ප්‍රදානය කරමු.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya