මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාංකීය සිසු දරුවන් වෙනුවෙන් සාධනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    පෙබරවාරි 03, 2022

    ලාංකීය සිසු දරුවන්ගේ අනාගත දියුණුව මෙන්ම රටේ සංවර්ධනය උදෙසා සාධනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ යුතුව ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    මාතර, ඌරුගමුව, බෝදරකන්ද රතනජෝති විද්‍යාලයේ සංවර්ධිත පුස්තකාලය විවෘත කිරීමේ හා ගුරු උපහාර පිදීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමන්ගේ පුරෝගාමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් පසු රටේ විශිෂ්ට ප්‍රගමනයකට හේතුවන සැලකිය යුතු මට්ටමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙතෙක් සිදු වී නැත. කඩිනමින් රට තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුවිශේෂී අවධානය හා කැපවීම යොමු වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එය රටේ දූ දරුවන්ගේ භාග්‍යයක් බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,
    “ ලංකාවේ අද පවත්නා ඇගයුම් ක්‍රමය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී එක් දිස්ත්‍රික්කයක් තුළ ඉහළ පහසුකම් ඇති පාසල්වල සහ ප්‍රමාණවත් පහසුකම් නොමැති පාසල් වල අධ්‍යාපනය ලබන සිසු දරුවන් සළකන්නේ එකම මට්ටමකින්. එය අඩු අධ්‍යාපන පහසුකම් ඇති පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට අසාධාරණයක්. ඒ නිසයි මා යෝජනා කළේ පාසල් වර්ගීකරණය කොට පාසැල් පදනමක්ද විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සකස් කළ යුතු බව. ලංකාවේ උසස් පෙළ අධ්‍යාපනය ලබාදෙන පාසල් ඇත්තේ 3042 ක් පමණයි. එම පාසල් කොටස් 04 කට වර්ගීකරණය කර පාසල් පදනම සකස් කළ යුතු බවයි මා යෝජනා කළේ. මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල විදුහල්පතිවරුන්ට ඇති ප්‍රධාන අභියෝගයක් තමයි තම පාසලේ සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් උසස් පෙළ අධ්‍යාපනය සඳහා එහිම රඳවා ගැනීම. එම දරුවන් උත්සාහ කරන්නේ කෙසේ හෝ වැඩි පහසුකම් සහිත ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමටයි. නමුත්, අප යෝජනා කළ පරිදි පාසල් වර්ගීකරණයක් සමග විශ්ව විද්‍යාල ප්‍රවේශයට සහනශීලී අවස්ථාවන් තිබුණා නම් එවැනි තත්වයක් ඇති වන්නේ නැහැ. එසේ වූවා නම් තමන්ට ආසන්න
    පාසලෙන් ඉවත් වීමට දරුවන් උත්සාහ දරන්නේ නැහැ.

    මෙවැනි සාධනීය ප්‍රතිසංස්කරණ ඇති නොවීම මතයි අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල අර්බුද ඇති වී ඇත්තේ. අද අධ්‍යාපනයේ විශාලතම ගැටලුව වී ඇත්තේ පාසල් 10162 කින් 64 ක් වන ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ තරගයයි. මෙය ඉතා ඛේදනීය තත්වයක්.''

    සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවකු එතැන් සිට මාස 07 ක් බලා සිටිය යුතුයි උසස් පෙළ පන්තියට ඇතුලු වීමට. ඒ වගේම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමට මාස 14 ක් බලා සිටිය යුතුයි. දරුවන්ගේ අගනා මාස 21 ක් අපතේ ගොස් අවසන්. මේ තත්වයයි අප වෙනස් කළ යුත්තේ. ඇමෙරිකාවේ දරුවන් වයස 24 වන විට ආචාර්ය උපාධිය ගන්නවා. මීට හේතුව ඔවුන්ගේ සාධනීය අධ්‍යාපන ප්‍රතිපත්තියයි.
    ප්‍රායෝගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව මතයි අප NSBM හරිත සරසවිය වැනි ආයතන ආරම්භ කළේ. 2012 දී හරිත සරසවිය ආරම්භ කරන විට මා තීරණය කළා උසස් පෙළ විභාගයෙන් තොරව සිසුන්ට සරසවි ප්‍රවේශය ලබා දීමට. විවිධ අභියෝග මැද පදනම් පාඨමාලාවකට පෙනී සිටින සිසුන්ට එම සරසවියට ඇතුලු විය හැකි පරිදි අප ප්‍රතිපත්ති සකස් කළා. අද වන විට NSBM හරිත සරසවියේ සිසුන් රැකියා ගතකිරීමේ ප්‍රතිශතය 96% ක්. මෙය සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල ඉක්මවා යන ප්‍රතිශතයක්. ඇත්තෙන්ම අප එවැනි සාධනීය වෙනස්කම් වලට යා යුතුයි. මෙවැනි තත්වයන් අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට විශේෂ ශක්තියක් හා පදනමක් බව මා විශ්වාස කරනවා.

    බෝදරකන්ද රතනජෝති විද්‍යාලය මාතර අධ්‍යාපන කලාපයේ ඉතා දුෂ්කර විදුහලක්. නමුත් මේ විදුහලේ දරුවන්ගේ හැකියාවන් හා කැපවීම් ඉතා ඉහළ බව මා දුටුවා. දුෂ්කර පාසල්වල දරුවන්ගේත් විදුහල්පතිවරුන්ගේ හා ගුරු භවතුන්ගේත් කැපවීමට මම ඉතාම ගෞරව කරනවා. මාතර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අපට විශාල ශක්තියක්. මෙම පාසල්වල ගැටලු සඳහා විසඳුම් ලබාදීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන අපගේ සුවිශේෂ වගකීමක් ලෙස භාරගෙන ඒ සඳහා කැපවන බව මම ප්‍රකාශ කරනවා.”

    2020 වසරේ මාතර අධ්‍යාපන කලාපයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 100% ක් වැනි ඉහළ අගයක් ගැනීම අගයමින් ගුරු උපහාර උළෙල පැවැත්විණි. එමෙන්ම බෝදරකන්ද රතනජෝති විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති සංවර්ධිත පුස්තකාලය විවෘත කිරීමද මෙහිදී සිදු විය.

    විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.මුදලිගේ මහතා සහ දික්වැල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. ජයරත්න මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya