මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහනට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    නොවැම්බර් 14, 2021

     රාජ්‍ය ආයතන 2024 ක් ජාතික විගණන කාර්‍යාලයේ විගණනයට

    ජාතික විගණන කාර්යාලයේ 2022 වසර සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (13) අනුමත විය.

    එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් විය.

    2018 අංක 19 දරන විගණන පනතේ 35 වැනි වගන්තිය ප්‍රකාරව, ඉදිරි වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ යෝජිත කාර්ය වැඩසටහන ඉදිරිපත් කළ යුතුය. විගණකාධිපතිවරයාගේ විෂය පථයට ගැනෙන රාජ්‍ය ආයතන වලට අදාළව 2022 වසර තුළදී ඉටුකිරීමට සැලසුම් කරන ලද මූල්‍ය ප්‍රකාශන විගණන, කාර්ය සාධන විගණන ඇතුළු විගණන කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවක් කිරීම සඳහා මෙම වාර්ෂික කාර්ය වැඩසටහන ඉදිරිපත් කර ඇත.

    විගණකාධිපතිවරයා විසින් විගණනය කරන ලද අංශ වශයෙන් සඳහන් රාජ්‍ය ආයතන සංඛ්‍යාව 2024 ක් බවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 (5) ප්‍රකාරව අය වැය ඉදිරිපත් කිරීමෙන් දින හතරක් ඇතුළත දී, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් පසුව, සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිත කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථීක උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය ඉදිරිපත් කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ජා විය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 (4) ප්‍රකාරව විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති හයක් ඇතුළතදී මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුලුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් රජයේ මුදල් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබීම සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය.

    1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වන වගන්තියේ (1) වන උපවගන්තිය, 6 වන උපවගන්තිය සමඟ කියවිය යුතු, 20 වන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසි අනුමත කිරීමද මෙම කාරක සභාවේදී සිදු විය.


    මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ, අනූප පැස්කුවෙල් යන මහත්වරු සභභාගි වූහ. මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුලු ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya