මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දෙනා කැපකිරීම් කළ යුතුයි- අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාව අතට පත් කිරීමට කටයුතු කරනවා- වෙළඳ අමාත්‍ය

    අගෝස්තු 21, 2021

    මෙම අර්බුදකාරී අවස්ථාවේදී  භාණ්ඩ සුමට ලෙස නොලැබීම වැනි දේ සම්බන්ධයෙන් ජනතාව කලබල නොවී ඉවසා සිටිය යුතු බවත්, අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ජනතාව අතරට පත් කිරීම සඳහා කටයුතු කරන බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ''දින දහයකට රට වැසීම තුළින් සිදුවන ආර්ථික අවපාතයන් වළක්වා ගන්නේ කෙසේ'' යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ
    අගොස්තු 21දා (අද) පැවති මාධ්‍ය හමුවේ දී  අමාත්‍යවරයා මේ බව පැසීය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ආනයනය කරන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ සුමට ලෙස ලබාදීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන සංගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ අනුව පිටකොටුව තොග හුවමාරු මධ්‍යස්ථානය දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත්, එදිනෙදා ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කෙරෙන භෝග විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හරහා බෙදාහැරීමට කටයුතු කරන බවත්ය.

    මීට අමතරව රාජ්‍ය ප්‍රධාන බෙදාහැරීමේ ජාලය වන සතොස, රාජ්‍ය වාණීජ විවිධ නීතිගත සංස්ථාව වැනි ආයතන අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග ජනතාව අතරට පත් කිරීම සඳහා
    කටයුතු කරන බවත්, සති දෙකක ස්වයං නිරෝධායනය වී සිටින පිරිසට ප්‍රවාහන ගාස්තු නොමැතිව සහන මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    රට අගුලු දැමීම හේතුවෙන් සිදුවන අනිසි විපාකවලට මුහුණ දීම රට අගුලු දැමීම තරම් පහසු නොවන බවත්, රජයක් ලෙස එහි සියලු වගකීම ඇත්තේ තමන් සතුව බවත්, රජයේ රැකියා නොකරන ලක්ෂ හැට පහකට අධික ජනතාව වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බවත්, එම පිරිසෙක් සියයට විසිපහකට අධික ප්‍රමාණයක් කෘෂි කර්මාන්තයෙන් යැපෙන්නන් බවත්, සියයට විසි හතකට අධික පිරිසක් කර්මාන්ත අංශයෙන් ජීවත් වන බවත්, සියයට හතලිස් හයකට අධික පිරිසක් සේවා අංශයේ රැකියා කරන බවත්, මෙම පිරිසට සිය කර්මාන්ත කර ගැනීමට නොහැකි පසුබිමක් තුළ ආර්ථික කඩා වැටීම් සිදුවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිවරයා රට නොවසා සිටීමට උත්සාහ කළේ, මෙරටේ සිටින සමස්ත පුරවැසියන්ගේ වගකීම දරන්නෙක් ලෙස ජනතාව ආහාර හිඟයෙන් නොමැරී ජීවත්වීම සඳහා බවත්, කුඩා ආර්ථිකයක් තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් පහත වැටෙනු වැළැක්වීම සඳහා බවත්, අමාත්‍යවරයා පැවසීය.

    අපනයන ආනයන ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ආනයනය කරනු ලබන භාණ්ඩ හිඟයක් ඇතිවුවහොත් අර්බුදය තව දුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවත්, මේ මොහොතේ අවශ්‍ය ඖෂධ මෙන්ම එන්නත් හා වෛද්‍ය උපකරණ විදේශයන්හි සිට ආනයනය කළ යුතු බවත්, එමෙන්ම මෙරටේ නිෂ්පාදනය කළද ප්‍රමාණවත් නොවන පාරිභෝගික භාණ්ඩද මේ රටේ ජනතාව සඳහා ප්‍රමාණවත් මට්ටමින් පැවැත්වීම සඳහා ආනයනය කිරීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම පසුගිය රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සෑම භාණ්ඩයක්ම පිටරටින් ආනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් දේශීය නිෂ්පාදනය දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව ඇති බවත්, රටේ ජනතාව ජීවන අරගයක් කරන මෙම මොහොතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මෙන්ම අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒම අනිවාර්යයෙන්ම කළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

    එහිදී ආනයනය කිරීම සඳහා විදේශ විනිමය රටට අත්‍යාවශ්‍ය බවත්,විදේශ විනිමය නොමැති නම් ආනයනය සඳහා වන ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි බවත්, උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තය ගත් විට ඇඟලුම් හරහා ලැබෙන විදේශ විනිමය නොමැති වුවහොත් තෙල් ගෙන්වීම සඳහා ණයවර ලිපියක් විවෘත කිරීමට නොහැකි බවත්, අමාත්‍යවරයා පැවසිය.

    තෙල් නොමැති වුවහොත් ප්‍රවාහනය අඩාල වන බවත්, ඒ හරහා අත්‍යාවශ්‍ය ගමන්බිමන් වැනි දේට පවා අවස්ථාව අහිමි වී යන බවත්, එයින් තවතවත් අර්බුදය වැඩිවන බවත්, එම නිසා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් මෙරටින් පිට රටට යවන කෘෂිකාර්මික භෝග, කර්මාන්ත නිෂ්පාදන හා අනෙකුත් සේවා වැඩි කළ යුතු බවත්, අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හරහා මෙරටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 03කට අධික ප්‍රමාණයක් රටට අහිමි වී ඇති බවත්, මේ
    සංඛ්‍යාව ඉතා විශාල සංඛ්‍යාවක් බවත්, හම්බන්තොට වරාය හා වරාය නගරය ආයෝජනයටත් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 02.8ක් පමණක් බවත්, වාර්ෂික සංචාරක කර්මාන්තයෙන් මෙරටට ඊටත් වඩා වැඩි ආදායමක් ලැබුනු බවත්, මේ මොහොතේ එය අහිමි වී යෑම තුළ බරපතල පාඩුවක් මෙරට ආර්ථීකයට සිදු වී ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වරාය නගරය හා හම්බන්තොට වරාය යන දෙකටම ලැබුණු මුදලටත් වඩා වැඩි මුදලක් මෙරටට තෙල් ආනයනය කිරීමට වියදම් වන බවත්, විදේශ මුදල් මෙරට තුළ මුද්‍රණය කළ නොහැකි බවත්, එය ගෙන්වාගතයුතු බවත්, රට තුළට විදේශ විනිමය නොපැමිණේ නම් එය එන මාර්ග ඇහිරී ඇත්නම්, මේ හරහා සියලුම ජනතාව අසහනයකට පත්වන බවත්, මේ හරහා පාලනය කළ නොහැකි මට්ටමට මිළ ඉහළ යා හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.

    එම නිසා එක් රටක් තවත් රටක් මත යැපෙන ලෝක ආර්ථිකය තුළ රටක සිදුවන අර්ථික අවපාතය සම්බන්ධයෙන් පටු දේශපාලන අවශ්‍යතා මත නොපිහිටා මෙරටේ බුද්ධිමත් ජනතාව කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya